පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මහතා පවසයි.
අද (16දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් වුන්ජින් මහතා මේ බව සඳහන් කළේය.
පසුගියදා පැවති මැතිවරණයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ යුන් සුක් යෙයොල් මහතාට සහ ඔහුගේ පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට ජනාධිපතිවරයා සුභාශිංසන එක් කළේය.
දෙරට අතර 45 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිවරයා දකුණු කොරියානු රජය නිරන්තරයෙන් මෙරටට ලබාදෙන සහාය අගයනු ලැබීය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා තානාපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර පවතින තත්ත්වයෙන් මිදීමට දකුණු කොරියානු රජයේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බව පැවසීය.
මෙරට තරුණයින්ට සිය රටින් ලබාදෙන රැකියා අවස්ථා සංඛ්‍යාව වැඩි කරගැනීම හා ව්‍යවසායකයින්ට කර්මාන්ත ක්ෂේත්රයේ ආයෝජන සඳහා ඇරයුම් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.