ගැබිණි සමයේ මුල් අවධියේදී මව්වරුන්ට අනිවාර්යයෙන් කළ යුතුව තිබෙනඑච්. අයි. වී. සහ වී.ඩි.ආර්.එල්. පරීක්ෂණ කටයුතු ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබෙන බවත් මේ නිසා මවගෙන් දරුවාට එච් අයි වී සහ උපදංශ වැනි රෝග ආසාදනය වීම වැළැක්වීම සඳහා මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වී තිබෙන බවත් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති සහ මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය සහ එච්. අයි. වී. වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාර්ථීන්ගේ සංසදයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය චිත්රාන් හතුරුසිංහ මහතා පවසයි.
රටේ පවතින ආර්ථික ගැටළු හේතුවෙන් ලිංගික වෙළඳාම සඳහා කාන්තාවන් යොමු වීම ඉහළ ගොස් තිබෙන බවත් ඒ හේතුවෙන් අදාළ පරීක්ෂණ මවුවරුන්ට පමණක් නොව සැක සහිත ලිංගික හැසිරීමක නිරත වූ සියලු දෙනා සිදුකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා අවධාරණය කරයි .
එච් අයි වී වෛරසය සහ උපදංශ රෝගය මවගෙන් දරුවාට ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව 2018 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගත් බවත් ඒ අනුව 2025 වසරේදී ඒඩ්ස් රෝගය සම්පූර්ණයෙන්ම රටින් තුරන් කිරීමේ ඉලක්කයක් ඇතිව සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වූ බව පැවසූ හතුරුසිංහ මහතා ඖෂධ සහ උපකරණ වල හිගය හේතුවෙන් එම වැඩපිළිවෙළ මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙන බවද පැවසීය.
අදාල පරීක්ෂණය දරු පිළිසිඳ ගැනීමක් සිදුව සති 14 ක් ගත වන්නට මත්තෙන් සිදුකළ යුතු බවත් එසේ කරනු ලබන්නේ යම් හෙයකින් එච් අයි වී සහ වීඩි ආර් එල් පරීක්ෂණ මගින් මවට ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගයක් තිබෙන බවට හඳුනාගතහොත් දරුවාට ඉන් ඇති වන බලපෑම අවම කිරීම සඳහා ප්‍රතිකාර කිරීමට කාලයක් අවශ්‍ය නිසා බවත් හතුරුසිංහ මහතා පවසයි.
ඩොලර් අර්බුද හේතුවෙන් අදාළ පරීක්ෂණ සිදුකිරීමේ පහසුකම් නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස මව ගෙන් දරුවාටඑච් අයි වී රෝගය සම්ප්‍රේෂණය වූ දරුවකු බිහි වුවහොත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
ෂේන් සෙනෙවිරත්න