හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු බවත් අපි වමට යද්දි ඔවුන් දකුණට ගියා බවත් අපි දකුණට යද්දි ඔවුන් වමට ගිය බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (27) පැවති කාන්තා හමුවකට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"අපේ වැරදි නිවැරදි කරගෙන, තවත් එක් වතාවක් අපි ගැන විශ්වාසය තියලා, සජිත් ප්‍රේමදාස ජනාධිපති බවට පත් කරලා, ජනතාවට ලබා දෙන්න නොහැකි වුණ පොරොන්දු ලබාදෙන්න අවස්ථාවක් සලසා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඔබතුමාලට අහන්න පුළුවන් වසර 05 ක් බලයේ ඉදලා ඇයි තවත් වසර 5 ක් ඉල්ලන්නේ කියලා. එදා 2015 දී අපට ලැබුණේ හවුල් ආණ්ඩුවක්. ඒ තුළින් අපට අවශ්‍ය ආකාරයට වැඩකටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි වමට යද්දි ඔවුන් දකුණට ගියා. අපි දකුණට යද්දි ඔවුන් වමට ගියා. විශාල ප්‍රශ්න ඇති වුණා. ඒකයි අපි නව ආණ්ඩුවක් ස්ථාපිත කරන්න හදන්නේ.
මම හිතන විදියට මේ වනවිට රටේ සියලුම පක්ෂ අද අපි සමග සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර. ඒ ප්රජාතන්ත්රවාදි අයිතිය ආරක්ෂා කරගෙන, කාන්තාවට ලැබිය යුතු රැකවරණය සහ සමතැන රැකගෙන අපි ඉදිරියට ගමන් කරමු. ඒ වෙනුවෙන් ඔබ නැවතත් අප කෙරෙහි විශ්වාසය තබන්න කියලා මම ඉල්ලා සිටිනවා. රට හදන්න අපි භාර ගන්නවා. හදලා තමයි අපි මේ ගමන නවත්වන්නේ. ඔක්තෝබර් මාසේ 30 දා ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් අපි ඔබ වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වෙන වැඩ කොටස ඔබට දැනගන්නට ලැබේවි. අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වුණාට, අවසානයේ තරගයක් තිබෙන්නේ පක්ෂ දෙකක් අතර පමණයි. ඒ තුළින් පවුල්වාදය ආරක්ෂා කරලා එක පවුලකට බලය ලබාදෙනවාද එහෙම නැත්නම් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරලා ඔබ සැම දෙනා අතට බලය ලබාගන්නවාද කියලා ඔබ තීරණය කළ යුතුයි
පසුගිය ආණ්ඩුව ජනතාවට වසර 11ක් බොරු පොරොන්දු දුන්නා රු. 2500 ක් වැටුප් වැඩි කරනවා කියලා. නමුත් අපිට 2015 බලය ලබාදීලා දින 35කින් එම වැටුප් වැඩිවීම ලබාදුන්නා. දැන් මෙයාලා කියනවා වැට් එක 50% අඩු කරනවා කියලා. මම අහන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. කරනවානම් කරන්න පුළුවන් එක් ආකාරයක් තිබෙනවා. ඒ තමයි, මේක අඩු කරලා, වෙනත් නමකින් නැවතත් බද්දක් එකතු කරාවි අනිවාර්යයෙන්ම.
අපිට එදා ඔබතුමාලා ලබා දුන්න ජන වරම තුළින්, ඔබතුමාලට ලබාදිය යුතු සියලුම පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. නමුත් අපි වැළලිලා යමින් තිබුණ ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කරලා, බියක් සැකක් නැතිව ජීවත්වීමේ අයිතිය තහවුරු කරලා දුන්නා. එදා කළුවර වැටුණම කවුරු හරි දොරට තට්ටු කළාම, අපේ අහිංසක ජනතාව බයේ වෙව්ලනවා. නමුත් අද ඒ තත්ත්වය නිමා වෙලා තිබෙනවා. ඒක තමයි අපි ලබාගත් ලොකුම ජයග්‍රහණය.
අපේ ආර්ථිකයේ ඇතිවූ කඩාවැටීමට වගකිවයුත්තේ මහ බැංකුවයි. ව්‍යවසායෙකුට ව්‍යාපාරයක් ආරම්භ කරගන්න ලක්ෂ 10 ක ණයක් වුවමනා වුණොත්, ඔහු බැංකුවට ගිහින් ඒ වෙනුවෙන් ලක්ෂ 20 ක ඇපයක් තියන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රශ්න තිබෙන නිසා අප එදා මහ බැංකුවට නිර්දේශ කළේ 5%, 6% පොළියට ගෙනගියේ නැතිනම්. අපි වගේ පොඩි රටකට ලෝකය සමග තරග කරන්න බැහැ කියලා. අනිත් එක තමයි කලුකඩ ණය ලබාගැනීම. මේවා 50% වගේ පොළියට අරන් තිබෙන්නේ. මේ දේ අලුත් ආණ්ඩුව තුළින් නිවැරදි කරන්නම්. එතෙක් සජිත් ප්‍රේමදාස මහතා කියලා තිබෙනවා, කලුකඩ ව්‍යාපාර තුළින් ලබාගත් ඒ මූල්‍ය ණය සම්පූර්ණයෙන් කපා හරිනවා කියලා "යැයි අමාත්‍යවරයා පැවසීය.
කෂිනි හපුආරච්චි