ආරක්ෂක අංශ භාවිත කළ ඉඩම් අක්කර 187ක් මුදා
යාපනය, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට අයත්ව තිබූ, ආරක්ෂක අංශ විසින් පරිහරණය කරන ලද අක්කර 187.56ක භූමියක් සිවිල් ජනතාවගේ පරිහරණය සඳහා මුදාහැර තිබේ. එම භූමිය ඵලදායී ආර්ථික හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව මේ අනුව සිවිල් ජනතාවට හිමි වේ.
වලිකාමම් උතුර (තෙලිප්පලෙයි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජේ/233 කන්කසන්තුරේ බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටි මෙම භූමිය, 1997 මැද භාගයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාවිත කරනු ලැබීය.
මෙම භූමිය මුදාහැරීමට අදාළ ලියකියවිලි පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ඩබ්ලිව්.එම්.ඒ.එම්. නිස්සංක විසින් පසුගියදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදි.
අක්කර 187.56කින් යුත් මෙම භූමි ප්‍රමාණය මුදාහැරීම, කන්කසන්තුරේ යෝජිත ආයෝජන කලාපය සඳහා අවශ්‍ය රාජ්‍ය ඉඩම් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළේ එක් පියවරකි. එමඟින් ප්‍රදේශයේ අනාගත ආයෝජන මෙන්ම ආර්ථික සංවර්ධන කටයුතු ද බෙහෙවින් විධිමත් වනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
