තමන්ට 2006 වසරේ මාර්තු මාසයේදී ගිනි අවියක් ලැබුණේ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
තමන් සතුව වසර 10ක් තිස්සේ හොර පිස්තෝලයක් පැවැති බවට මාධ්‍ය වාර්තා කළ කරුණුවලට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“2001 වසරේදී ‘සිහල උරුමය’ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ අවස්ථාවේදී පුද්ගලික ආරක්ෂාව සඳහා මා හට ගිණි අවියක් (0.38 රිවෝල්වරයක්) ලබාදෙන ලදි.
වසර 2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් SEMA ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස මා පත්කළ අතර 2006 වසරේදී යුධ ගැටුම් ආරම්භවීමත් සමඟ උතුරු හා නැගෙනහිර දෙපළාතේ සිවිල් ජනයාගේ ජලය, විදුලිය හා නිවාස පහසුකම් සැපයීම පිළිබඳව වූ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඒ දෙපළාතේ යුධ ගැටුම් සහිත ප්‍රදේශ වලට නිතර යෑමට සිදුවිය.
ඒ අනුව නීත්‍යානුකූල ලෙස එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව 2006 මාර්තු මස මාහට නව ගිණි අවියක් (9 මි.මි.) ලබාදෙන ලදි. එවිට මා සතුව තිබූ ගිණි අවිය නැවත භාරදීමෙන් පසු එය නිකුත් විය. 2007 සිට 2019 දක්වා මා අමාත්‍යවරයෙක් ලෙස සේවය කළ අතර ගිණි අවිය සඳහා බලපත්‍ර ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීම් සිදුකර ඇත.
ඒවාට ප්‍රතිචාර නොමැතිවීම නිසා ගිණි අවිය තලංගම පොලීසියට භාරදෙන ලදි. මෙය හොර අවියක් නොව ත්රස්තවාදයට එරෙහිව කටයුතු කළ ජාතික ව්‍යාපාරයේ නායකයෙකු ලෙස මට එල්ලවූ තර්ජන ගැන සලකා නිකුත් කරන ලද්දකි.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.