මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවත් ඔහු සදහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බළ මණ්ඩලයට සහභාගී වෙමිනි.
"පසුගිය වසරේ මැයි 9 වනදා අපි ආපසු අභියෝග ගැටළු වලට මුහුණ දීලා මේක සාර්ථක කර ගන්නේ කොහොමද කියලා කල්පනා කළා. 77 දීත් රෙජි මහතාගේ ගෙදර ගිනි තිබ්බා. එතුමා ඉතාම ක්‍රමානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න කටයුතු කලා.
අරගලය ඉතාම සැලසුම් ගතව කරපු දෙයක්. ලංකාවෙම නිවාස 300 ක් ගිනි තිබ්බා. වැඩිම අලාභහානි කලේ ගම්පහ දිස්ත්‍රික්කයට හා මිනුවන්ගොඩ ආසනයටයි. අපේ ආසනයේ නිවාස 13ක් ගිනි තිබ්බා. පොහොට්ටුව රට පුරා ගිහිල්ලා පාක්ෂිකයෝ එකතු කරගෙන එක්ව තරග කරනවාද වෙනම තරග කරනවද කියලා සාකච්ඡා කරා. ඒ වෙලාවෙදි මිනුවන්ගොඩ අපි තමයි කිවුවේ වෙනම තරග කරමු කියලා. මම ඒක මහින්ද මහත්තයගේ මුහුණටත් කිවුවා.
පළාත් පාලන මැතිවරණයට අපි වෙනම තරග කළා. අපි දිනුවා. ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරමු කියලා යෝජනා කලේ මිනුවන්ගොඩ ආසනයේ අපි. පසුව මුළු රටේම එම මතවාදය හදලා ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද තුන් ලක්ෂ හැට පන් දහසකින් ගෝඨාභය මහතා ගම්පහින් දිනෙව්වා.
ගෙවල් ගිනි තියලා මිනී මරලා අපිව වට්ටන්න බැහැ. හොද සාර්ථක මිනිහෙක් වෙන්නේ වැටි වැටි නැගිටින අයයි.
77 අපේ ගෙවල් ගිනි තිබ්බා. 94 දි විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගිනි තියන්න අපි ඉඩ දුන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයින්ට හිරිහැර කලොත් ඒවට පොලියත් සමග වන්දි ගෙවන්න වෙයි කියලා මම කියනවා. අපි දැන් ගේමට බැහැලා ඉවරයි..
රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අපි අභියෝග වලට බයේ පැනලා දුවන්නේ නැහැ. අද ගෑස් පෝලිම් නැහැ. තෙල් පෝලිම් නැහැ. විදුලිය තියෙනවා. ඩොලරය ශක්තිමත් වෙනවා. 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු වෙමින් තිබෙනවා. අපේ පක්ෂයේ මිනි මරපු අය නැහැ. අත්වල ලේ ගැවිලා නැහැ. අයි.ඩී. උස්සලා නැහැ. අපේ පක්ෂය මිනී මරපු නැති පිරිසිදු පක්ෂයක්"