ආපදාවට පත් නැවේ කාර්ය මණ්ඩලය බේරා ගනියි
ආපදාවට පත් වූ MV INTEGRITY STAR නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද හදිසි ආපදා ඇමතුමකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ (ඔක්තෝබර් 25) දින ඔවුන් ඉන් මුදාගෙන, අද (ඔක්තෝබර් 26) දින උදෑසන හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ආරක්ෂිතව ගෙන ඒමට සමත් වූහ.
මෙම නෞකාව ශ්‍රී ලංකාවට දකුණින් නාවික සැතපුම් 100 ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ ප්‍රධාන එන්ජින් අක්‍රිය වීම හේතුවෙන් ආපදාවට පත්ව තිබූ අතර, ඒ හේතුවෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටියහ.
ආපදා සංඥාව ලැබුණු විගස, කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) මගින් සම්බන්ධීකරණය කරමින්, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් SLNS සමුදුර නෞකාව සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුමක් සඳහා කඩිනමින් පිටත්කර යවන ලදී.
නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම ඔස්සේ, ඉන්දියාව, තුර්කිය සහ අසර්බයිජානය යන රටවල ජාතිකයින් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට හැකි විය.
මේ අතර, ආපදාවට පත් මෙම නෞකාවට ආසන්නව යාත්‍රා කරමින් තිබූ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන MV MORNING GLORY නෞකාව ද අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටි අතර, එමගින් සමුද්‍රීය හදිසි ප්රතිචාරයන්හිදී ඵලදායී ජාත්‍යන්තර සහයෝගිතාවයේ වැදගත්කම මනාව පෙන්නුම් කරයි.
නාවික හමුදා මූලස්ථානය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක කෙරෙන කොළඹ සමුද්‍රීය සෝදිසි හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව ආශ්රිත මුහුදු කලාපය තුළ ආපදාවන්ට ලක් වන නෞකා සහ නාවිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ප්රයත්නයන්ට ප්‍රමුඛත්වය ලබා දෙයි. ජාත්‍යන්තර සමුද්‍රීය සම්මුතීන් සඳහා වන ජාතියේ කැපවීම තහවුරු කරමින්, මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සෝදිසි හා මුදාගැනීමේ කලාපය තුළ පමණක් නොව, අසල්වැසි ජාත්‍යන්තර මුහුදු කලාපය තුළ ද, මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කරනු ලබන අතර, ඒ ඔස්සේ ආපදාවට පත් නාවික හා ධීවර ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහාය සැපයීමට කැප වී ක්‍රියා කරනු ලබයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

