ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේදී QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීම බාධාවක්ව ඇති බැවින් අවශ්‍යතාව අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් එස්.සත්‍යානන්ද මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
ඒ බව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දෙන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ නැවත ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ஈகாய (16දා) පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් විය.
ගම්පහ දිසාපති එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 11,158කට අයත් පුද්ගලයන් 46,797දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කළේය.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පහව යමින් තිබෙන බවත්, ඒ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර සිටින පිරිස්ද සිය වාසස්ථාන කරා යොමුවෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස දෙකකට පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර, තවත් නිවාස දෙකකට අර්ධ හානි සිදුව තිබෙන බව මෙහිදී අණාවරණය විය.
ආපදාවට ලක්ව සිටින සියලුම දෙනාට යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සහයෝගය ඇතිව පිසූ ආහාර ලබාදීමටත්, එමෙන්ම ඉදිරියේදී වියළි ආහාර ලබාදීමටත් නියමිතය.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂ ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැතිරීයන රෝගී තත්ත්වයන් පාලනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් සියලුම සෞඛ්‍ය නිලධාරීන් දැනුම්වත් කර ඇති බවයි. එවැනි හදිසි අවස්ථාවන් සම්බන්ධයෙන් 033-2234904 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.
මේ අතර ගංවතුර තත්ත්වය පහව යෑමත් සමග පැතිරයන ඩෙංගු රෝගය ඇතුළු වසංගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් දැනටමත් සැලසුම් සකස් කර තිබෙන බවද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂ ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේය.