ආනවිලුන්දාව රැම්සා කුරුලු අභයභූමියේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 40 ක පමණ ප්රමාණයක් විනාශයට පත්වී ඇතැයි වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
ඊයේ (28දා) සවස හටගත් මෙම ගින්න පැය 03 ක පමණ කාලයක් තුළ දී හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය,ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාව, වන ජීවී සහ පොලිස් නිලධාරීන් සමග ප්රදේශවාසීන් එක්ව පාලනය කිරීමට කටයුතු කර ඇත.
පුත්තලම දිස්ත්රීක්කයේ ආනවිලුන්දාව රැම්සා කුරුලු අභය භූමියට ආසන්නයෙන් පිහිටි පිංකට්ටිය වෙල් යායට කිසියම් අයෙකු විසින් තැබූ ගින්නක් අභයභූමිය තෙක් පැතිර ගොස් ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළකරයි
මෙරට පිහිටි දෙවන රැම්සා අභයභූමිය වන්නේ ආනවිලුන්දාව කුරුලු අභයභූමියයි.2001 අගෝස්තු මස 03 වැනිදා රැම්සා අභය භූමියක් බවට ප්රකාශයට පත් කර ඇති මෙහි විශාලත්වය හෙක්ටයාර් 1357 කි.
සංචාරක පක්ෂීන් තම ප්රජනන කටයුතු සදහා වසරේ මාර්තු සහ අගෝස්තු මාසවලදී ආනවිලුන්දාව රැම්සා අභයභූමියට පැමිණීම සිදු කරති.ඒ අනුව මෙම කාලය තුළ විවිධ සංචාරක පක්ෂීන් අනවිලුන්දාව රැම්සා අභයභූමිය තුළ දක්නට ඇත.
ඒ අනුව ගිනි ගෙන විනාශයට පත්ව ඇති භූමිය තුළද ඇතැම් විට සංචාරක පක්ෂීන් බිත්තර දමා තිබෙන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි ද වන ජීවී නිලධාරීන් සඳහන් කරයි.
ගිනි තැබීම සිදු කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොතිබූ අතර මුන්දලම පොලීසිය සහ වන ජීවී දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි
