දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපොලේත් අලෙවි කිරීම සදහා අවසර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඒ අනුව දැනට නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ සංශෝධනය කර ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙද පොළෙහි අලෙවිය සඳහා ඉඩ ලබා දීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දැනට වෙළෙඳ පොලේ පවතින බිත්තර හිඟය සැළකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් බිත්තර ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීන්දු තීරණ රැසක් පසුගියදා ගනු ලැබීය.
මේ සම්බන්ධව සාකච්ඡාවක් සියලු අංශවල සහභාගිත්වයෙන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශෙය් දී පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ද සහභාගි වූහ.
මෙරට බිත්තර හිඟය තුරන් කිරීමට නම් දැනට රජය විසින් පනවා තිබෙන බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කරන ලෙසත්, සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු හිඟය තුරන් කිරීම මෙන්ම සහල් සත්ව ආහාර සදහා යොදාගැනීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසත් එම කර්මාන්තකරුවෝ ඉල්ලීමක් කළහ.
බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15ක් තුළ රට පුරා බිත්තර සුලභ කරන බවත්, එසේ නොවුනහොත් රජය විසින් ගන්නා කවර තීරණයකට වුවත් එකඟවන බවත් බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ ප්‍රකාශ කළෝය.
ඔවුන් ඉදිරිපත් කළ කරුණු අනුව බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන බවත්, සත්ව ආහාර සදහා සහල් යොදා ගැනීමට දැනට පනවා ඇති තහනම ඉවත් කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම දැනට බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගන්නා ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳ පොලේ අලෙවි කිරීමට ඉඩ සලසන බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
එමෙන්ම බිත්තර ආනයනය කිරීම නොනවත්වන බව සදහන් කළ අමාත්‍යවරයා බිත්තර හා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙළෙඳපොලට හිඟයකින් තොරව බිත්තර සැපයීමට පියවර ගන්නා තෙක් බිත්තර ආනයනය කිරීම සිදු කරන බව ද සඳහන් කළේය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආනයනික බිත්තර සිල්ලර වෙළෙදපොළේ අලෙවි කිරීම සදහා පනවා ඇති මාර්ගෝපදේශන ඉවත් කර එම බිත්තර සිල්ලර වෙළෙදපොලේ අලෙවි කිරීමට අවස්ථාව ලබා දීම, කුකුළු කර්මාන්තය සඳහා මව්සතුන් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දීම, බිත්තර හා කුකුළුමස් කර්මාන්තය නැංවීමේ සමස්ත වගකීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉටු කළ යුතු බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.
දැනට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල රුපියල් 36කි. එමනිසා තමන්ට ලාභයක් තබාගෙන අඩු මුදලකට බිත්තර ජනතාවට ලබා දීමට එම කර්මාන්තකරුවන්ට හැකියාව ඇති බව ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේය.