ඉන්දීය සාගරය ගැටුම්වලින් තොර සාම කලාපයක් වශයෙන් පැවතිය යුතු බවත් ලෝක බලවතුන්ගේ ඝට්ටනයන්ට මැදිවීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම ශ්‍රී ලංකාව අනෙකුත් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන බවත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවැසීය.
ජනපති ලේකම් කාර්යාලයේදී ඊයේ (13දා) ජපාන විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය මොතේගි තොෂිමිත්සු හා ද්විපාර්ශ්වීය සාකච්ඡාවකට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රී ලංකාව හා ජපානය නැවත වරක් මෙහිදී අවධාරණය කෙරිණ.
තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, නැගෙනහිර බහලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගි මාර්ග, කෘෂිකර්මය, රූපවාහිනි සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය, ආපදා නිවාරණය සහ ආරක්ෂක සහයෝගීතාව මෙම ක්ෂේත්රයන්ට අයත් වේ.
“ අපගේ ආර්ථිකය කුඩා එකක්. නමුත් අපට නිපුණතා සහිත උගත් හා දක්ෂ ශ්‍රම බලකායක් සිටිනවා. මාගේ අභිප්‍රාය ශ්‍රමය කේන්ද්‍රකරගත් උසස් තාක්ෂණයෙන් යුත් ආර්ථිකයක් ගොඩනැංවිමයි. එම ඉලක්කය කරා ළගාවිමට ජපානයේ සහයෝගය අපි බලපොරොත්තු වෙනවා” යැයි ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාව විශේෂයෙන් චීනය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වැනි කලාපීය රටවල ආයෝජනයන්ට විවෘත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.