ආදිවාසී පනත අමාත්‍ය මණ්ඩලයට යොමු කළා
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැපවන බවත්, වසර ගණනාවක සිට වැදිජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළ අතර ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
“ආදිවාසී පාරම්පරික වින්නඹුමාතාවන්ට ගරු කිරීම: ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම” යන්න තේමා කර ගනිමින් දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේ අද (අගෝස්තු 09) පැවැති "ලෝක ආදිවාසී දිනය 2026" සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.
ලෝක ආදීවාසී දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය විසින් දඹාන ආදිවාසී වැදි ගම්මානයේ ඖෂධීය පැළයක් සිටුවීම සිදු කළ අතර අනතුරුව ආදිවාසී ජන උරුම කෞතුකාගාරය නැරඹීමට ද එක් වූවාය. පාරම්පරික වින්නඹු මාතාවන් අගයමින් සංකේත සහ ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව ආදීවාසී වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ශ්‍රී ලංකා ආදිවාසී ප්‍රජා ප්රකාශනය අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීමද සිදු කළේය.
"මම අසා තියනවා, හිටපු ආදිවාසී වැදි නායක තිසාහාමි ඇත්තන්ට වරක් රාජ්‍ය නායකයෙකු විසින් නිල මැදුරක් සහ ඉඩකඩම් ලබා දීමට කළ ආරාධනය, වැදි ජන සංස්කෘතියේ ආරක්ෂාව සහ වැදි පරම්පරාවේ අනාගත පැවැත්ම වෙනුවෙන් එතුමා ප්‍රතික්ෂේප කර තිබෙනවා. පෞද්ගලික වරප්‍රසාද පසුපස යන සමාජයක එතුමා කළ ඒ කැපකිරීම අප සැමටම මහඟු ආදර්ශයක්. අපගේ අනාගත පරම්පරාවට පරිසරයට ආදරය කරන යහපත් සමාජයක් නිර්මාණය කර දීමට නම්, අපි වැදි ජනතාවගේ සරල ජීවන රටාවෙන් සහ පරිසර හිතකාමී සංකල්පවලින් ආදර්ශ ලබාගත යුතුයි.
අපේ රටේ ක්‍රියාත්මක කළ සමහර සංවර්ධන යෝජනාක්‍රම සහ ජාතික වනෝද්‍යාන ප්‍රකාශයට පත්කිරීම වැනි කරුණු හමුවේ ආදිවාසී වැදි ජනතාවට තමන්ගේ පාරම්පරික වනාන්තර භූමීන් මෙන්ම නිදහස් ජීවන රටාවත් අහිමි වී යාමේ තර්ජනයට ලක්වී තිබෙන බව අපි දන්නවා.
ආදීවාසී වැදි ජනතාවගේ අනන්‍යතාව, පාරම්පරික දේශීය දැනුම සහ උරුමයන් අද වඳවී යාමේ අවදානමකට ලක්ව තිබෙනවා. අපි රජයක් මෙන්ම සමාජයක් ලෙසත් මේ ප්රශ්නය දෙස බොහොම සංවේදීව සහ වගකීමෙන් බැලිය යුතුයි.
සංවර්ධනය කියන්නේ ආදිවාසී වැදි ජනතාවගේ උරුමය විනාශ කිරීම නෙවෙයි. එක්සත් ජාතීන්ගේ ආදිවාසී අයිතිවාසිකම් පිළිබඳ ප්රකාශනයට අනුකූලව, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සියලු දෙනාගේම පරම වගකීමක්.
රජයක් ලෙස ආදිවාසී වැදි ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, තිරසාර ජීවනෝපාය, අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් ලබාදීමටත් කැපවෙන අතරම, ඔවුන්ගේ පාරම්පරික භූමි අයිතිය සහ සංස්කෘතික ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.
වසර ගණනාවක සිට ආදිවාසී වැදි නායකතුමා ඇතුළු වැදි ජනතාව ඔවුන් වෙනුවෙන් පනතක් සම්මත කරගැනීම පිළිබඳව විවිධ රජයන් සමඟ සාකච්ඡා කළත්, එය මෙතෙක් ඉටු වී තිබුණේ නැහැ. නමුත් අපේ රජය, විශේෂයෙන්ම ගරු සුනිල් සෙනෙවි ඇමතිතුමාගේ මැදිහත්වීම මත, අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. පනතක් සම්මත කරගැනීමට අදාළ සියලු අමාත්‍යාංශ, ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු වෙනවා.
ඒවගේම පවතින අණපනත් සමඟ ගැටුමක් ඇති නොවන විදිහට නීතිමය පදනම තහවුරු කරමින් සිදු කළයුතු සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් අවශ්‍ය කමිටු පත් කරමින් මෙම සතිය තුළ අදාළ පනත පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම, පරිසර විෂයභාර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වැදි ජනතාවට එදිනෙදා ජීවිතයේදී බලපාන වනාන්තරයට ඇතුලු වීමට අවසරය ලබා දීම, ආදිවාසී වැදි ජනතාව ලියාපදිංචි කිරීම, නීත්‍යානුකූළ හැදුනුම්පතක් ලබාදීම, ඇතුළු කරුණු රැසක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තැබීම සිදු කළා. මෙතෙක් ආදිවාසී වැදි ජනතාව මුහුණ දුන් ගැටලු රැසකට මෙමගින් ස්ථීර විසඳුම් ලැබෙනවා, ආදීවාසී වැදි ප්‍රජාවගේ අයිතිවාසිකම් මෙන්ම සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමටත්, දෛනික ජීවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යාමටත් මෙමගින් අවස්ථාව හිමිවෙනවා.
අපේ රජය බලයට පත්වීමෙන් පසු රට පරිවර්තනීය යුගයකට ගෙන යාම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින්, ගෝලීය අර්බුද සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන අතරම, රටේ සංවර්ධනය සහ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීමට කටයුතු කරනවා.
මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුව නිසා ආදිවාසී වැදි ජනතාවද දැඩි පීඩාවට පත් වුණා. පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළත්, ඇතැම් ප්‍රදේශවල රාජ්‍ය යාන්ත්‍රණයේ පැවති ප්‍රමාදයන් සහ යම් යම් ගැටලු නිසා සහන ලැබීමේ ප්‍රමාදයක් සිදු වූ බව අප පිළිගන්නවා. ඒ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කරමින්, එම සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

