ආදරවන්තයෙකු හෝ ආදරවන්තියක අතර පවතින ආදර සම්බන්ධතාවක් බිඳී යාමෙන් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය විනාශ වීමේ අවධානමක් මතු වන බැවින් එය වළක්වා ගැනීමට අපරාධකරු සහ ඊට ගොදුරු වන්නා වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.
හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ තුරග තරග පිටියේදී සරසවි සිසුවියකට ඇයගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව එවන් සිදුවීම් වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා තවදුරටත් අදහස් පළ කරමින් මෙසේද කීය .
ආදරයත් වෛරයත් අතර කෙස් ගහක වෙනසක් ඇති බවට සමාජ මතයක් තිබුණද එය මිථ්‍යාවක් . පෙම්වතෙකු පෙම්වතියකට අවංකව ආදරය කරන්නේ නම් එහෙම වෙන්න බෑ. මොකද ඒ ආදරය අවංක චේතනාවෙන් සිදු වන්නක් නිසා . අවංකව ආදරය කරන අය මෙවන් අපරාධ වලට පෙළඹෙන්නේ නැහැ .නමුත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් විටින් විට අපිට සමාජයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.
ඇයි එහෙම වෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි ඒ ඒ පුද්ගලයින්ගේ පෞර්ෂත්ව සාධක . යම් ආදර සම්බන්ධතාවයක් බිඳී ගියහාම පෙම්වතාට පෙම්වතිය ගැන හෝ පෙම්වතියට පෙම්වතා ගැන හෝ කේන්තියක් ආවේගයක් ,වෛරයක් ,ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක් . නමුත් ඒ ආවේගය පාලනය කර ගැනීමට තමන්ට ශක්තියක් තිබිය යුතුයි. එසේ නොමැති වූ තැන තමයි මෙවන් අපරාධ වලට පුද්ගලයින් පෙලබෙන්නේ .
තමන්ගේ බලාපොරොත්තු බිඳ දැම්මාම තමන්ට හිතෙනවා ඇය හෝ ඔහු තමන්ට එරෙහි වුණා කියලා. ඒ වෙලාවට ආදරේ අමතක වෙනවා.අන්න ඒ වෙලාවට මේ ආවේගය පාලනය කරගන්න පුළුවන් නම් මෙවන් අපරාධ පාලනය කරගත හැකියි .එහෙම නැතිවුණු තැනකදි තමයි රටට දැයට ජාතියට ආගමට වටිනා මෙවන් ජීවිත අපිට අහිමි වෙන්නේ.
ඒ නිසා ක්ෂණික කේන්තිය සහ ආවේගය නිසා ඇතිවන මෙවන් අපරාධ වළක්වා ගැනීමට ස්වයන් පාලනයක් සහ සමාජීය බලපෑමක් ලබාදිය යුතුයි . ඒ නිසා මෙවන් සිදුවීමක් වූ අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා .
තමන්ට යම් ගැටලුවක් වූ විටෙකදී තව කෙනෙකු සමග පැවසීම. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදේශන ලබා ගැනීම ,කාගෙන් හරි තමන්ට තර්ජනයක් තිබෙනවා නම් ඒ පිළිබඳව මේ රටේ ආරක්ෂක අංශ දැනුවත් කොට ඒ හරහා රැකවරණය ලබා ගැනීම, දැන උගත් බුද්ධිමත් වැඩිහිටියන්ගෙන් උදව් ලබා ගැනීම වැනි දෑ කොට තම ජීවිත ආරක්ෂා කර ගැනීමට පෙළඹිය යුතුයි .
ඒත් ලැජ්ජාව සහ භය නිසා ඇතැමුන් එවන් ක්‍රියාමාර්ග වලට පෙළඹෙන්නේ නැහැ. හිත ඇතුලෙ තදකරගෙන දරාගෙන ඉන්නව. කාලය විසින් විසඳයි කියලා ඉන්නව. නමුත් එවන් සිදුවීම් කාලය විසින් විසදන්නෙ නැහැ.
ඒ නිසා මා වගකීමෙන් කියනවා මෙවන් අපරාධ වැළක්වා ගැනීම සඳහා අපරාධකරු සහ ඊට ගොදුරු වන්නා මීට වඩා සැළකිළිමත් විය යුතු බව.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න