ආණ්ඩුවේ ගනුදෙනු හෙලි කරන වෙබ් අඩවියක් ආරම්භ කරණ බවට ආන්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දුව ආණ්ඩුව කෙදිනෙක වත් ඉටු නොකරන පොරොන්දුවක් බවට පත්වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.09.26) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කරන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අද ජනාධිපතිතුමන් හමුවෙන්න නියමිතයි. ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් ණයට ගන්න පොරොන්දු සීයක් දුන්නා. මේ වන විට ඒවායින් 57ක් ඉටු කර තිබිය යුතුයි. නමුත් ඇත්තටම ඉටු කරලා තිබෙන්නේ 38යි.
ඉටු නොකරපු පොරොන්දු අතර මොනවාද තිබෙන්නේ? ආණ්ඩුවේ බදු ආදායම මාර්තු 31 වන දා වන විට බිලියන 650ක් දක්වාත් ජූනි 30 වන විට බිලියන 1,300 දක්වාත් වැඩි කර ගත යුතුයි කියන කොන්දේසි දෙකම ආණ්ඩුවට ඉටු කර ගන්න බැරි වුණා.
ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම ඇමති මණ්ඩලය විසින් ජූනි 30ට කලින් සම්මත කරන්න ඕනි කියලා කොන්දේසියක් තිබුණා. ඒකත් ඉටු කර ගන්න බැරි වුණා. තමන්ගේ විගණනය කරන ලද ගිණුම් සමග වාර්ෂික වාර්තා ප්‍රසිද්ධ කර නැති රාජ්‍ය ආයතන 52ක් තමන්ගේ 2022 වාර්ෂික වාර්තා ජූනි 30ට පෙර ප්‍රසිද්ධ කළ යුතුයි කියා කොන්දේසියක් තිබෙනවා.
ජූනි 30 නොවේ අද වන තුරුත් ඒක ඉටු කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම 2024 සඳහා ආණ්ඩුව ආදායම් උපයන ආකාරය සකස් කර ගෙන ජූලි 31 වන විට ඇමති මණ්ඩල අනුමැතිය ගන්න ඕනි කියලා කොන්දේසියක් තිබෙනවා. ඒකත් ඉටු කරලා නෑ. මේ වගේ කොන්දේසි 19ක් එක්කෝ ඉටු කරලා නෑ. නැතිනම් කළ බව ප්‍රසිද්ධ කර නෑ.
ආණ්ඩුව ඉටු කළ යුතු කොන්දේසි 57කින් 38ක් පමණක් ඉටු කරලා තිබෙන නිසා දෙවන වාරිකය නොලැබීමේ අවදානමක් තිබෙන බවට සමහර දේශපාලකයින් කියනවා. මම නම් හිතන්නේ මේක දෙවන වාරිකය නිසා පොඩි තරවටුවක් කරලා වාරිකය ලබා දෙයි. තුන්වන වාරිකය වෙන විටත් මේවා ඉටු කරලා නැතිනම් ඒවා ඉටු කරන තුරු වාරිකය නැවැත්වීමේ අවදානමක් තිබෙනවා. අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය 17 වෙනි වතාව. පසුගිය 16 වතාවම සිදු වුනේ කොන්දේසි ඉටු නොකිරීම නිසා අතර මගින් මේ වැඩසටහන අත්හැර දමන්න.
ඔය මොන කොන්දේසිය පමා වෙලා හරි ඉටු කළත් ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන කොන්දේසියක් තිබෙවා. ඒ තමයි 40 වන කොන්දේසිය. ඒකෙන් කියන්නේ ආණ්ඩුවේ ගනුදෙනු හෙලි කරන වෙබ් අඩවියක් පටන් ගන්න. ඒ වෙබ් අඩවියේ ප්‍රධාන වශයෙන් කාරණා තුනක් ප්‍රසිද්ධ කරන්න ඕනෑ. 1) ආණ්ඩුව මිල දී ගැනීම් සම්බන්ධයෙන් එළැඹිණු සියළුම ගිවිසුම්. 2) ආයෝජන මණ්ඩලය විසින් ඒ ඒ ආයෝජකයාට ලබා දුන් බදු සහන. 3) වාහන ආනයනයේ දී බදු සහන ලබන පුද්ගලයින්ගේ නම්.
මේ පිළිබඳ සමහර තොරතුරු විවිධ ආයතන වල වෙබ් අඩවි වල ප්‍රසිද්ධ කර තිබෙනවා. නමුත් මේ තොරතුරු ප්‍රසිද්ධ කරන පොදු වෙබ් අඩවියක් නිර්මාණය වෙලා නෑ. මේ වැඩේ හරියට කලොත් ලංකාවේ මහ පරිමාණ දූෂණ 50%කින් අඩු කරන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා. ඇත්තටම මූල්‍ය අරමුදලෙත් කනෙන් රිංගලා ආණ්ඩුව විසින් වැදගත්ම හෙලිදරව්වක් වහගෙන තිබෙනවා.
ඒ තමයි ඇමති මණ්ඩලය විසින් උපාය මාර්ගික ව්‍යවසාය පනත යටතේ ලබා දෙන බදු සහන. එතැන තමයි ලොකුම ඩීල් ටික යන්නේ. නමුත් ඒවා හෙලිදරව් කළ යුතු බවට කොන්දේසියක් අයිඑම්එෆ් ගිවිසුමේ නෑ. ආණ්ඩුවට අයිඑම්එෆ් ණය නොලැබුණත් ඒක නම් කරන එකක් නෑ කියලයි මම හිතන්නේ."