අපි කියන වැඩපිළිවෙලේ හොඳ ලක්ෂණ පිළිගන්න සූදානම් නැත්නම් අපි නිකන් ආණ්ඩුවෙ ඉඳලා ආණ්ඩුවත් එක්ක අපිත් පිරිහෙන්න වැඩක් නැහැ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ අද(14දා) අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී පැවැති ස්වයං රැකියා ලාභින්ට උපකරණ ප්රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
“කළමණාකරනයේ ගැටලුවක් ඇති බව පේන්න තියෙනවා. ඉන්ධන නැව් එකක්වත් ආපස්සට හරවලත් නැහැ. නියමිත පරිදි ඇනවුම් කරලත් තියෙනවා. වරායටත් එනවා. හැබැයි ගන්නෙ ප්‍රමාදවෙලා. දඩ ගාස්තුත් ගෙවලා වෙනම ගෙවල තමයි ගන්න වෙන්නෙ අතිරේක මුදලක් වැය කරලා. මිනිස්සු පෝළිමේ ඉඳලා ඉන්ධන ටික ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. ගෑස් නැව්වලටත් එහෙමයි වෙලා තියෙන්නේ. ගෑස් නැව් එකක්වත් ආපස්සට හැරිල යන්නෙත් නැහැ. ඔක්කොම ගන්නවා. හැබැයි ප්‍රමාද ගාස්තුත් ගෙවනවා. නියමිත වෙලාවට ගන්නෙ නැති නිසා පෝළිමකුත් ඇතිවෙනවා. ඒ නිසා කළමණාකරනය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.
රජය ප්‍රමුඛතාව හඳුනාගන්න ඕනෑ. මිනිස්සුන්ගේ අවශ්‍යතාව දැන් පාරවල්ද, ලයිට්ද, වතුරද, කනබොන එකද එහෙමත් නැත්නම් ගෑස් ද කියන එක ගැන, මේවා පෙළගස්වා කටයුතු කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ ගැන යෝජනාවලියක් ඉදිරිපත් කළා.
අපිට තිබෙනවා මෙයින් මිදෙන වැඩපිළිවෙලක්. අපි එය ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්. බැරිකමක් නැහැ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණොත් රටට හොඳයි. නැත්නම් ඉතින් තේරුමක් නැහැ. අපි කියන වැඩපිළිවෙලේ හොඳ ලක්ෂණ පිළිගන්න සූදානම් නැත්නම් අපි නිකන් ආණ්ඩුවෙ ඉඳලා ආණ්ඩුවත් එක්ක අපිත් පිරිහෙන්න වැඩක් නැහැනේ. අපිට බලය, තනතුරු තියන දේ වැදගත් නැහැ. මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වෙන වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කර තිබෙන්නේ. තනතුරු ගන්න වැඩි කරගන්න ඒවා නෙවෙයි අපේ ළඟ තියෙන්නේ.
දැන් සිමෙන්ති, ඇස්බැස්ටස්, යකඩ මිල වැඩිවෙලා. දැන් ගෙවල් හදන්න වෙන්නේ සල්ලි කොළ ලැමිනේටින් කරලා හදනවා ඇරෙන්න බඩු දාලා නම් හදන්න පුළුවන්කමක් නැහැ. ගෙවල් හැදිල්ල කෙසේ වෙතත් කන බොන ටිකයි අත්‍යවශ්‍ය දේවල් දෙන්න ඕනනේ. ඩොලර් හිඟයෙන් මිදෙන විදියත් අපි කියා තියෙනවා. අපි බලාගෙන ඉන්නෙ මොකක්ද කරන්නෙ කියලා. අපි කළ යෝජනාවලිය අනුව යම් ආකාරයක තීන්දුවක් ගත්තොත් ඒකෙන් සියයට සියයක් නෙවෙයි යම් සහනයක් ගන්න පුළුවන් වෙයි කියා හිතනවා” යැයිද අමාත්‍යවරයා පැවසීය.
අනීෂා මානගේ