වත්මන් ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුදල් වලට බිලී බා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු මෙම අවස්ථාවේ ආණ්ඩුවට එකතු වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (09දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එමෙන්ම වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවකට විපක්ෂනායකව සිටියදී ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු සිංගප්පූරු යෑවු ආකාරයෙන් තමා කටයුතු නොකරන බව සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
මේ ආණ්ඩුව බිලී බා ගන්න හදනවා විපක්ෂයෙන් මන්ත්රීවරුන්ව ඇමතිකම් වලට නම් කරන්න. රටේ වගකීම භාර ගත්තේ අපිට ඇහුනා කියනවා අතේ තියනවා කියලා ඇමරිකානු ඩොලර් බිලියන 4ක්. කෝ ඒ බිලියන 4? මම පැහැදිලිව කියන්න කැමතියි කොච්චර උත්සහ දැරුවත් පුද්ගලයන්ව බිලී බා ගන්න මැති ඇමති තනතරු පෙන්වලා, මැති ඇමති සීනිබෝල පෙන්වලා සමගි ජන බලවේගයෙන්, සමගි ජන සන්ධානයෙන් කිසිදු කෙනෙක් මේ දුර්දාන්ත ආණ්ඩුවට එකතු වෙන්න සූදානම් නෑ කියලා මම මේ අවස්ථාවේ කියනවා. අද යන්නේ ඇමති වෙන්දේසියක්. බෑග් පිටින් ගෙනල්ලා දෙන්නේ. බෑග් පිටින් පොරොන්දු වෙන්නේ. අමතක කරන්න එපා බැසිල් රාජපක්ෂ ගෙදර ගියේ මොකද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර ගියේ මොකද කියලා. සමහරෙකුට හිතෙනවා ඇති දැන් සියල්ල ඉවරයි කියලා. මේ රටේ ජනතාවගේ හෘදස්පන්දනය තවම මේ ආණ්ඩුවට තේරිලා නෑ, යනුවෙන් සඳහන් කළේය.