හමුදාව සහ පොලිසිය මේ සටනේදී ජනතාව සමග සිට ගන්නා දිනය වැඩි ඈතක නොවන බවත් , මේ ආණ්ඩුව පලවා හරින්න සූදානම් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(29දා) පස්වරුවේ පානදුර දී පැවසීය.
ජාතික ජන බලවේගය සංවිධානය කල "ආණ්ඩුව පන්නමු පාරට බහිමු" විරෝධතා මාලාවේ තවත් විරෝධතාවයක් ඊයේ පස්වරුවේ පානදුර නගරයේ නගරයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා මෙසේද පැවසීය.
භාණ්ඩාගාරයට එන්න ඕන සල්ලි මැති ඇමතිවරුන්ගේ එකවුන්ට් වලට හරවල. ඒ නිසා ඉස්සර තිබ්බේ ඩොලර් අඩුපාඩුවක් දැන් රටේ තියෙන්නේ ආර්තික අර්බුදයක්. මේ ආර්ථික කඩාවැටීම නිසා ජනතාව පීඩාවට පත්ව ඇත්තේ පාලකයකින්ගේ වරදින්.
ඉන්ධන ගැටළුවට පැහැදිලි උත්තරයක් දෙන්නෙ නෑ. ප්රශ්නය ඉන්ධන නෑ.උත්තරයක් ටෝකන් . ප්රශ්නය ඉන්ධන උත්තරය ඇප් එක. දැන් ඇප් එකක් නෑ. ලියා පදිංචි කරනවා කිව්වා. දැන් ලියා නෑ පදිංචි විතරයි. ජනතාව මහ පාරේ මැරෙනවා. මේ පාලකයින්ට ඒ ගැන කිසිදු වගක් නෑ. ඒ නිසා වැටී ඇති මේ රට ගොඩගන්න ජාතික ජන බලවේගය සූදානම් .
මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන , වෘත්තීය සමිති සංගම් සමග සාකච්ඡා කරමින් යන්නේ. හමුදාව පොලිසිය ඉන්නේ කලකිරීමෙන්. ඔවුන් අපිට දැනුම් දී තියෙනවා අපි කෙලින් තීරණයක් ගන්නවා නම් ඔවුන්ද තීරණයක් ගන්නවා කියලා.
හමුදාව පොලීසිය ඉන්ධන පිරවුම්හල් වල දී ජනතාවට බනින්නේ ජනතාව ගැන තරහින් නොවෙයි . ගෝඨාභය රාජපක්ෂ ගැන තරහින්. ඒ නිසා පිරවුම්හල්වල දී හමුදාව පොලීසිය සමග ගැටුම් ඇතිකර ගන්න යන්න එපා.
මේ පාලකයින් ගැන දැන් ජනතාව කිසි විශ්වාසයක් නෑ. විශ්වාසය බිදවැටිලා. මේ පසුවන්නේ තීරණාත්මක අවස්ථාවක. රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න අපි අධියර තුනක් යටතේ සැලසුම් කරනවා. එක මේ දූෂිත පාලනය පන්නා දැමීම. දෙක තාවකාලික පාලනයක් ගොඩනගා රටේ මූලික අවශ්‍යතා නගාසිටුවීම තුන මහමැතිවරණයකට ගොස් යලි මෙවන් ව්‍යසනයකට රට පත් නොවීමට කටයුතු කිරීම.
මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. ඒ නිසා පළමු අදියර වන මේ දූෂිත පාලකයින් පන්නා දැමීමට දිනය සහ වේලාව කියන්නම් සූදානම්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් පැවසීය.
විරෝධතාකරුවන් දෙදහසට අධික පිරිසක් පානදුර වලාන මංසන්ධියට රැස්වී විරෝධතාපුවරු ඇතැතිව, මුළුතැන්ගෙයි උපකරණ රැගෙන ගාලු පාරේ එක් මංතීරුවක් මුළුමනින්ම අවහිර කරමින් පානදුර නගරය දක්වා පැමිණ ගුවන් පාලම යට විරෝධතාවය සිදු කරන ලදී.
පානදුර සුමිත් පොතුපිටිය / පානදුර සමන් කාරියවසම්