ආණ්ඩුව ජනතාව සමග යැයි විශ්වාසයි
ජනතාව ආණ්ඩුව සමග සිටිින කියන විශ්වාස කරන බවත් ජනතාව අපේක්ෂා කරන පරිවර්තනය ඇති කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට වෙමිනි.
"මහකන්නයේ, කන්නය පහු වී අස්වැන්න නෙළපු ජනතාවගේ වී මිලදී ගැනීමේ ගැටලුවක් මතු වුණා. ආණ්ඩුව වී මිලදී ගැනීමෙන් පසුව ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙළුවා. එම ජනතාව යම් ගැටලුවකට මුහුණ දි සිටිනවා. අපි එය විසඳනවා. ඒ වගේම යල කන්නයේ අස්වනු නෙළීම දැන් ආරම්භ වී තිබෙනවා. වී අස්වනු සාධාරණ මිලකට විකුණා ගන්න බැරිනම් එය ගොවි ජනතාවට සිදුවන අසාධාරණයක්. ඒ නිසා ගොවි ජනතාවට සාධාරණ මිලකට වී මිලදී ගැනීමට අපි උපරිමයෙන් මැදිහත් වී තිබෙනවා.
අපි පහුගිය මහ කන්නයේ දස ලක්ෂ දහ දාහක වී මිලදී ගත්තා. අපි අයවැයෙන් එම මුදල් වෙන් කළේ යල සහ මහ දෙකන්නයේම වී මිලදී ගැනීමට. හැබැයි වී අළෙවි මණ්ඩලය එම මුදලින් මහ කන්නයේදීම වී මිලදී ගත්තා. ඒ අනුව යල කන්නයේ වී මිලදී ගැනීමට දස ලක්ෂ හය දාහක් වෙන් කළා. ඒ අනුව පසුගිය යල කන්නයේ සහ මේ මහ කන්නනයේ වී මිලදී ගැනීමට දස ලක්ෂ දහසය දහසක් වෙන් කර තිබෙනවා. ඒ වගේම මෙවර යල කන්නයේ නැවත වී මිලදී ගැනීම සදහා දස ලක්ෂ හයදාහක් වෙන් කළා. ඒ කියන්නේ පසුගිය යල කන්නය, මහ කන්නය සහ මෙවර යල කන්නයේදි ආණ්ඩුව දස ලක්ෂ විසි දෙදහසක් වී මිලදී ගැනීමට වෙන් කර තිබෙනවා.
ඒ වගේම අපි වී ගබඩා ප්රතිසංස්කණය කරමින් තිබෙනවා. පෞද්ගලික අංශයත් දායක කර ගනිමින් ගබඩා ධාරිතාව ඉහළ නංවා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට වී මිලදී ගැනීමට අවශ්‍ය ණය මුදල් අඩු පොලී යටතේ ලබා දී තිබෙනවා. අපි පියවරින් පියවර ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සිටිනවා. අද රටේ ජනතාව මේ ආණ්ඩුව සමග සිටිනවා. කිහිප දෙනෙකුගේ ගෝරනාඩු තිබෙනවා, ඒ කෙසේ වෙතත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුව සමග කියන විශ්වාසය අපිට තිබෙනවා. ජනතාව අපේක්ෂා කරන එම පරිවර්තනය අපි ඇති කරනවා."
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
