ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,
"අපි අද වෙනකොට ආණ්ඩු බලය අරගෙන අවුරුද්දක් වගේ කෙටි කාලයක්. ඒ කාලයෙනුත් මාස හතරක් වගේ තමයි ආණ්ඩුව කරන්න පුළුවන් උනේ. අනෙක් කාලය ගැන පසුගිය කාලයේ තිබුණ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
කෙසේ වෙතත් අද විශේෂයෙන් නගරයට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න අපි සියලු දෙනා මහන්සි වෙනවා. ගමට නගරයේ තිබෙන පහසුකම් ලබා දීම අපේ වගකීමක් හා යුතුකමක්. ඒ කාර්ය අපි ඉටු කරනවා.
කෙනෙකුට වතුර ටික, විදුලිය, මහා මාර්ග ලබා දෙන්න පුළුවන් නම් සියලු කටයුතු වලින් ගමක් දියුණු කරන්න පුළුවන් කම තියෙනවා. එමගින් පළාතක් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කාර්යභාරයට අප මුල් තැන දී කටයුතු කරනවා.
විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැය 15ක් විතර වැඩ කරන නායකයෙක්. ඇත්ත කියන්න ඕන එච්චර නම් මම වැඩ කරන්නෙ නැහැ. නමුත් එතුමා ඉඳගෙන මේ සියලු ආයතන ගැන, පළාත් පාලන ආයතන ගැන, අවබෝධයක් ඇතිව තමයි තමන්ගෙ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන්නෙ. ඒ නිසා අපි ඉන් ප්‍රයෝජනය ගන්න ඕන.
ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් ලෙස මම දකිනවා. එහෙම නැතිව ඇමතිවරු පත්කරලා, මන්ත්‍රිවරු පත්කරලා, සභාවක් ගොඩ නගලා, මන්ත්‍රිවරු පත්කළා දැන් අපට වැඩේ කෙරෙයි කියලා පැත්තකට වෙලා ඉන්න ගියොත් ඉන් පළාතට වගේම තමන්ටත් පාඩුවක් වෙන්නෙ".