අහුලාගත් අන්සතු බැංකු කාඩ් පතක් උපයෝගී කරගෙන විදුලි බිලක් ගෙවීම ඇතුළු විවිධ භාණ්ඩ මිලදී ගත් කාන්තාවක් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් බැර වී තිබූ තම බැංකු ගිණුමට අයත් ඩෙබිට් කාඩ් පත කිසියම් අයකු පරිහරණය කරන බවත් එය උපයෝගී කරගෙන විදුලි බිල් පතක් ද ගෙවා ඇති බවට අතුරුගිරිය ප්රදේශයේ කාන්තාවක් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.
තම ජංගම දුරකථනයද ඒ වන විට ක්රියාවිරහිතව පැවතීම හේතුවෙන් එය අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී තම ඩෙබිට් කාඩ් පත උපයෝගී කරගෙන විදුලි බිලක් ගෙවූ බවට ලද කෙටි පනිවිඩයෙන් පසු තම බැංකු කාඩ් පත තිබේදැයි පරික්ෂා කිරීමේදී එය අස්ථානගත වී ඇති බව දැනගන්නට ලැබුණු බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය කියයි.
අදාළ පැමිණිල්ල අනුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු අනුව විදුලි බිල ගෙවා ඇති සුපිරි වෙළඳසැල සොයා ගොස් විදුලි බිල්පතේ ගිණුම් අංකයට අයත් ලිපිනය ඔස්සේ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගෙන් කරන ලද ප්රශ්න කිරීමේදී නිවසක මෙහෙකාර සේවයේ යෙදී යළි නිවසට පැමිණීමේ දී කොස්වත්ත හන්දියේ වැටි තිබූ බැංකු කාඩ්පත අවුලා ගෙන දින කිහිපයක් තිස්සේ සුපිරි වෙළඳසැල් වලින් විවිධ භාණ්ඩ මිලදී ගත් බවත් අනතුරුව විදුලි බිලක් ද ගෙවූ බව අනාවරණ වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය පැමිණිලිකාරිය ගේ රුපියල් ලක්ෂ 4 ක් පමණ තැන්පත්ව තිබෙන ගිණුමට අයත් බැංකු කාඩ් පත උපයෝගී කරගෙන රුපියල් රුපියල් දෙලක්ෂ හතළිස් තුන් දහසක පමණ ආහාර පාන සුවඳ විලවුන් රෙදිපිළි ආදී භාණ්ඩ මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි
48 හැවිරිදි සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.