මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය හැදෑරූ සිසුවියක තම අස්වීම් සහතිකය ලබා ගැනීමට පාසලට ගිය අවස්ථාවේදී එම විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු එම සිසුවිය බලහත්කාරයෙන් පාසල තුළ රඳවාගෙන බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
එම සිසුවිය හෙට (14) පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුව තිබීම හේතුවෙන් පසුගිය 11 වැනි දින පාසලට ගොස් අස්වීම් සහතිකය ලබාගැනීමට උත්සාහ කළත් එදින එම පාසලේ විදුහල්පතිනිය කුරුණෑගල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට ගොස් සිටින බැවින් අස්වීම් සහතිකය ලබාදීමට නොහැකි බව දන්වා තිබේ.
එ් සම්බන්ධයෙන් අදාළ සිසුවිය සහ විදුහල් කාර්ය මණ්ඩලය අතර ඇතිවූ සංවාදය දුරදිග ගොස් පාසල් බලධාරීන් පාසලේ ගේට්ටු වසා එම සිසුවිය සිරකරගෙන පැය ගණනක් තබා ගත් බවට පොලිසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන්ය .
ගම්පොළ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් වන එම සිසුවියගේ මව ද සිසුවිය සමග පාසලට ගියත් ඇය පාසල තුලටි නොගෙන එළියෙ රඳවා තබා තිබේ .
පැය තුනකට ආසන්න කාලයක් තම දියණිය පාසලෙන් එළියට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසුවත් ඔවුන් කිසිවක් නොපැවසූ බව ද සිසුවියගේ මව කියයි .
එම සිසුවියට දීර්ඝ වේලාවක් බැණ තර්ජනය කොට සිරකරගෙන තබා ගැනීමෙන් අනතුරුව නියෝජ්‍ය විදුහල්පතිනිය ගේ අත්සනින් යුතුව අස්වීමේ සහතිකයක් පසුව නිකුත් කොට තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ මව සහ පියා විසින් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාටත් පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයටත් දැනුම් දී තිබේ .