අස්වැසුම දීමනාව හිමි පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් බැර නොකර වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් බැර කරන ලදැයි චෝදනාවට වැඩ තහනම්ව සිටි කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන අංශයේ කළමනාකාර සේවා නිලධාරිනියක් 13දා සවස ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
වයස්ගත සහ වෙනත් අස්වැසුම මුදල් හිමිකරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර නොකර වෙනත් පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් බැරකරන ලද බවට ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ලත් බව ද පොලිසිය පැවසුවේය. මේවනවිට පොලීසිය කළ විමර්ශන අනුව රුපියල් තිස්හත් ලක්ෂ අසුඑක් දහසක් ( 3781000.00) එලෙස වංචා කර ඇති බව ද පොලිසිය සදහන් කළේය. විමර්ශන අවසන් නැති නිසා වංචාකරන ලද මුදල මීට වඩා වැඩිවීමට ඉඩ ඇති බව ද පොලීසිය කීවේය.
මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අස්වැසුම සුබසාධන මණ්ඩලයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්කාර්යාල වලින්ද විගණන අරඹා ඇති බවද පොලීසිය පැවසුවේය.
පොලිස් සේවයේ නියුතුව සිටින සැකකාරියගේ සමීපතම ඥාතියෙකු ඇතුලු බාහිර පුද්ගලයින් කිහිප දෙනෙක් තමන්ගේ බැංකු ගිණුම්වලට තම තමන් දැනුවත් නැති ව මුදල් බැරවී ඇති බවට පොලිසියට සහ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබු බව පොලිස් විමර්ශන වලදී හෙළිවු බවද පොලීසිය පැවසුවේය.
මේ සම්බන්ධයෙන් කොළොන්න ප්‍රාදේශීය ලේකම්වරියද ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය කීවේය. දැනට වැඩ තහනම්ව සිටින සැකකාරිය ඇඹිලිපිටිය, මඩුවන්වල පිහිටි නිවසකදි අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසුවේය.