අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනූනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය මේ මස 24 වැනි දින සවස රාජ්‍ය අනුග්‍රහය සහිතව අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට තීරණය විය.
බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අනුස්මරණ ශාලාවේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව එය තීරණය විය.
අපවත් වී වදාළ අනුනායක හිමියන්ගේ ශ්‍රී දේහය උන්වහන්සේ විහාරාධිපතිත්වය දැරූ ගුහාගොඩ ලියන්ගස්තැනන පුරාණ විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව අද (21) සවස අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අනුස්මරණ ශාලාවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතය.
ජූලි මස 24 වැනි දින සවස 2.30 ට උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ආරම්භ වීමට නියමිත අතර එදින පාසල් කිහිපයකට දහවල් 12.00 න් පසු නිවාඩු ලබාදීමටද තීරණය විය.
මෙම සාකච්ඡාව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන්ගේ උපදෙස් පරිදි පාර්ශවය අනූනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි, ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පරාවේ ආනන්ද යන හිමිවරුන්ද පාර්ලිමේන්තු මන්ති තනුර දිසානායක, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්රමුඛ සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක සහ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.