අසත්‍ය තොරතුරු මත විදේස්ගතවී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් සිය කාර්යංශයට මැදිහත්විය නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මහේන්ද්‍ර කුමරසිංහ මහතා පවසයි.
සංචාරක හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා ලබා ගනිමින් මෙරටින් පිටත්වන ඇතමුන් පූර්ණකාලීන රැකියාවන්හි නිරතවන බව සභාපතිවරයා කීවේය.
එවැනි රැකියාවලදී සිදුවන නීතිමය ගැටලු සම්බන්ධයෙන් සිය කාර්යංශයට මැදිහත්වීමට නොහැකි බවත් සංචාරක හෝ අධ්‍යාපන වීසා සම්බන්ධයෙන් නීතිමය බැදිමක් නොමැති බවත් ඒ මහතා කීවේය.
විදේස් රැකියා හා උසස් අධ්‍යාපනය අපේක්ෂාවෙන් සිටින මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (11) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගීවෙමින් සභාපතිවරයා මේ බව කීවේය.
කෝප් කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ සංකල්පයක් මත කිරුළ පදනම, විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධාන කොට තිබිණි.
මැදපෙරදිග ගෘහ සේවිකා රැකියා පමණක් නොව ජර්මනිය, ඕස්ට්‍රේලියාව,ජපානය වැනි රටවල වෘත්තීමය රැකියා අවස්ථා රැසක් පවතින බවත් මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවට බංගලාදේශය, ඉන්දියාව, නේපාලය වැනි රටවල් සමඟ තරඟකිරීමට සිදුව ඇතැයි පෙන්වා දුන් සභාපතිවරයා, භාෂා දැනුම, වෘත්තීය කුසලතා, අත්දැකීම්, හැකියාවන් පමණක් නොව විනය ද ඉතා වැදගත් යැයි කීවේය. ජපානය වැනි රටවල සම්මුඛ පිරීක්ෂණවලදී ආචාර කිරීම ආදිය සම්බන්ධයෙන් පවා ඔවුන් විමසිලිමත් වන බව ද මහේන්ද්‍ර කුමාරසිංහ මහතා පැවසිය.
රැකියාවක් සඳහා විදේශගතවන සියලු දෙනා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාර්ගෝපදේශන අනුව විදේස්ගත වීම ඉතා වැදගත් යැයි පෙන්වා දුන් ඒ මහතා මෙම කාර්යංශය විදේශ සේවා නියෝජිත ආයතනයක් නොව රැකියා අපේක්ෂකයන්ගේ ඵලදායිතාව ඉහළ නංවන රජයේ ආයතනයක් යැයි කීවේය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යම පළාත් සාමාන්‍යාධිකාරී එස්.යාපා යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්