රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණය බල රහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය, එම තීරණයට අනුව මේ වනවිටත් විශ්‍රාම ගන්වා සිටින හෙද හෙදියන් යළි සේවයට එක් කර ගැනීමටද නියෝග කළේය.
රජයේ සේවකයන් අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයේ හෙද ශ්‍රේණි හතරකට අදාළ තීරණවලට අනුව කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, හෙද සේවයේ ශ්‍රේණි හතරකට අදාළ හෙදියන් විශ්‍රාම ගැන්වීමට නිකුත් කර ඇති ලේඛන බල රහිත කරන නියෝගයක්ද නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල එලෙස නියම කළේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාලතා සොයිසා මෙනවිය ඇතුළු පාර්ශ්වකරුවන් ඉදිරිපත් කළ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ නීතිපතිවරයා ඇතුළු 24දෙනෙකු නම් කර ඇත.
ශ්‍රී ලංකා හෙද සේවය පළමුවන ශ්‍රේණිය, අධි ශ්‍රේණිය, විධායක ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියට අයත් හෙද හෙදියන් අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නඩු විභාගයේදී ඉදිරිපත් වූ ලේඛන පිරික්සීමේදී 2023 මාර්තු 31වැනිදා සිට පසුගිය මාස 06ක කාලසීමාව තුළ විශ්‍රාම ගැන්වීමෙන් සහ විදේශගත වීමෙන් හෙද නිලධාරීන්ගේ 1,000ක පමණ පුරප්පාඩු වීම් ඇති බව අනාවරණය වූයේ යැයි පැවසීය.
ඉන් රජයේ රෝහල් තුළ අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇති බවත්, සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයකට ලක් වන අතර, ඉන් සෞඛ්‍ය සේවය බිඳවැටීමටත් හැකියාව ඇති බවත් පෙන්වා දුන් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා, සේවයේ සිටින පිරිස විශ්‍රාම යවා අලුතින් පිරිස් බඳවා ගැනීම ඊට පිළියම නොවන බවත්, පෙත්සම්කාර හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීමෙන් ඇතිවන පුරප්පාඩු පිරවීමට පුහුණු නිලධාරීන්ට පවා අපහසු බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ කරුණු පදනම් විරහිත බවත්, මෙම අර්බුදයට විසඳුම් යෝජනා කිරීමටත් වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්, රාජ්‍ය හෙද සේවයේ හෙද හෙදියන් අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගත් තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.