පසුගිය 2022 අගෝස්තු මස 75% කින් වැඩි කළ විදුලි බිල, 2023 පෙබරවාරි 15 සිට නැවත 66% කින් වැඩි කර ඇති බවත් මේ අනුව 2022 පෙබරවාරි මස තිබූ විදුලි බිල 2023 පෙබරවාරි වන විට 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව මේ වසරේ ලංකා විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 765 ක් බවත් පසුගිය 2022 ලංකා විදුලිබල මණ්ඩලයේ අයවැය අනුව එහි සමස්ත වියදම වී ඇත්තේ රුපියල් බිලියන 471 ක් බවත් ඔහු පෙන්වා දෙයි.
එයින් ක්ෂය වීම් (Depreciation) බිලියන 33 ක් හා මූල්‍ය වියදම් (Financial Cost) බිලියන 38 (එකතුව බිලියන 71) අත්හළ විට 2022 මෙහෙයුම් වියදම රුපියල් බිලියන 400 ක් බවත් මෙය 2023 දී රුපියල් බිලියන 765 වන්නේ කෙසේදැයි පැහැදිලි නැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි..
"2022 වසරේදියි විදුලි කප්පාදුව නිසා අතිරේක පිරිවැය වාසියක් ලංවිම ට ලැබිණි. ( විදුලි කප්පාදුව නිසා ඉතිරි වු විදුලි ප්‍රමාණය ගිගාවොට් පැය 798 කි. නිෂ්පාදනය නොවුනි.) 2023 දි 24 × 7 විදුලිය ලබාදීමට ඉදිරි මාස 10 ක්‍රියා කරන නිසා ඒ පිරිවැය මූල්‍ය පිරිවැයක් ලෙස නැවත ලංවිමට බැරිවේ.
ඒ් අතරේ ආර්ථිකය 4% කින් සංකෝචනය වන නිසා විදුලි ඉල්ලුම ද 4% කින් පමණ අඩු වේ. (එය ලංවිම පිරිවැය අඩුවීමට හේතුවකි.) මෙසේ හෙයින් අඛණ්ඩ විදුලි සැපයුම විසින් 2023 දී ලංවිමට ඇති කරන මූල්‍ය බලපෑම ඉතා අඩුවේ. ඒ අනුව 2023 සඳහා යෝජිත ආදායම වූ රුපියල් බිලියන 765 කිසිසේත් මූල්‍යමය ලෙස යුක්තියුක්ත කළ නොහැක.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා යෝජනා කර ඇති 32% ක වැඩි වීම (2023 වර්ෂය සඳහා අතිරේක බිලියන 140) පවා යුක්ති සහගත කිරීම අපහසුය. මහජන උපයෝගිතා කොමිසමට අලුතින් පත්කරන ලද සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ද එම යෝජනාවයි
මේ විදුලි බිල වැඩි කිරීම තෙල් මිල සූත්‍රය මෙන්ම පුම්බන ලද වියදම් මත පදනම්ව ඇත. රුසියා යුක්රේන ගැටුම නිසා ඉහළ ගිය (2022 මාර්තු - ඔක්තෝබර්) තෙල් හා ගල් අඟුරු මිල 35% කින් පමණ 2023 දී අඩුවී ඇත. ඒ අනුව 2022 අන්තර්ජාතික ඉන්ධන මිල ගණන්, 2023 ට යොදා ගැනීම විද්‍යානුකූල නැත. එසේ තිබියදී ලංකාවේ අන්තර්ජාතික පිරිවැයට (Cost Reflection) ඉන්ධන හෝ විදුලිය ලැබෙන්නේ නැත. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවධානය යොමු කළ යුතු කරුණකි.
ලංවිම මූල්‍ය වියදම් (Financial Cost) ඉහළ ගියේ (2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා දහගුණයකින්) ලංවිම වැරැද්දකින් ම නොවේ. තෙල් සංස්ථාව හා ලංවිම මහා භාණ්ඩාගාරය පටවා ඇති බදු හා රජයේ බැංකුවල අධික පොලි අනුපාත (34%) නිසාය. භාණ්ඩාගාරයේ වැරදි මූල්‍ය කළමනාකරණයට හා රාජ්‍ය බැංකුවල වැරදි මූල්‍ය කළමනාකරණයට විදුලි හා තෙල් පාරිභෝගිකයා වගකිව යුතු නැත.
ගාස්තු සංශෝධනයේදී වැඩි බර දමා ඇත්තේ ඒකක 90 ට අඩුවෙන් පරිහරණය කරන පිරිමැසුම් පාරිභෝගිකයන්ට ය.
ඔවුන් වැඩියෙන් විදුලිය පරිහරණය කරන (විදුලි පහන් දැල්වන සවස 6.30 - රාත්‍රී 9.30) අවස්ථාවේදී සංඛ්‍යාත පාලනයට යොදා ගන්නා ජලවිදුලිය සලකා බැලූ විට හා ජල විදුලි බලාගාර ණය වලට ජනතාව දැනටමත් ගෙවා ඇති තත්ත්වය තුළ මෙය අතිශයින් අයුක්ති සහගත වේ. දුගියන්ට සමෘද්ධි සහනාධාරය ලෙස රුපියල් බිලියන 66 දී විදුලි බිල්පතෙන් රුපියල් බිලියන 106 ක් වැඩියෙන් ගැනීම දුගියා කබලෙන් ලිපට දැමීමකි.
ලංවිම ගාස්තු වැඩ කිරීමේ ක්‍රමවේදයක් තිබියදී මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය පිළිකුල් සහගත මැර ක්‍රියා කලාපයකි. එය මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන කොමිෂන් වලට කළ “තග්” දේශපාලනයේම තවත් එක් දිගුවකි.
විදුලිය කපා දමමින් උසස් පෙළ විභාගය පවා අවුල් කරමින් “ගාස්තු වැඩි කිරීමට දෙන තෙක් විදුලිය කපනවා” ලෙස වූ විදුලිබල අමාත්‍යාංශයේ ක්‍රියාවලිය සමාන වන්නේ සහල් වෙළෙන්දන් බිත්තර වෙළෙන්දන් සහ කළු කඩ කාරයින් භාණ්ඩ හා සේවා සඟවා මිල වැඩිකර ගැනීමේ වෙළඳ මාෆියා ක්‍රියාවලියට ය.
තෙල් සංස්ථාව, ලංවිම ඇතුළු බලශක්ති ක්ෂේත්රයේ ගොඩ ගත යුත්තේ එකී ආයතන වලට ද තාක්ෂණික නාස්තිය, මූල්‍ය නාස්තිය, වළක්වන ඵලදායිතා ඉලක්ක ලබා දීමෙන් හා භාණ්ඩාගාරය හා රාජ්‍ය බැංකු එක්ව ඒකාබද්ධ මූල්‍ය ස්ථායිකරණයක් ඇති කිරීමෙනි. ගල් අඟුරු ටෙන්ඩරය 2022 ජූලි - සැප්තැම්බර් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නීති විරෝධීව “බ්ලැක් සෑන්ඩ්” සමාගමට ලබා දීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීම හා (ඒ බව රජයේ විගණකාධිපතිවරයා තහවුරු කර ඇත.) බොහෝ ප්‍රමාද වී ලබාදුන් ඉන්දුනීසියානු ටෙන්ඩරය අත්හිටවා වෙනත් සමාගම් වලට ටෙන්ඩරය ලබා දීම වැනි ප්‍රසම්පාදන දූෂණ වල වගකීම ජනතාවට පැටවීම කිසිසේත් අනුමත කළ නොහැක.
බදු වැඩි කිරීමෙන් තෙල් මිල හා විදුලි බිල කෘත්රීමව වැඩිකිරීමෙන් ජනතාවගේ විරෝධය ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකිව තිබූ මැතිවරණ කල් දැමීමෙන් ආණ්ඩුවේ ලේ පිපාසිත සුළු පිරිසක් කැරැල්ලකට අත වනමින් සිටිති. එහෙයින් විරෝධතා සෑම විටම ප්රජාතන්ත්රවාදී සීමාවේ තබාගැනීමත් එක් විය හැකි සියල්ලන් එක පෙරමුණකට එක්වීමත් මේ මොහොතේ සිදුවිය යුතු ම දෙයයි. මේ “තග්” දේශපාලනය පරාජය කළ හැක්කේ එවැනි අවිහිංසාවාදී, ප්රජාතන්ත්රවාදී පුළුල් සංධානයකට පමණි."