රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමීන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරින් අනතුරුව අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ගැසට් මගින් ඉදිරිපත් කිරීමට රජය අවධානය යොමුකර තිබේ.
මේ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය සති දෙකකින් ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පැවැසීය. අවම වේග සීමාද ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනය නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
"අධිවේගී මාර්ගයන්හි ගමන් ගන්නා පුද්ගලයන්ගේ පුද්ගල විශේෂතාවලින් තොරව ජීවිත ආරක්ෂාව සඳහාත් ශරීරාංග ආරක්ෂා කිරීමතට නව විධිවිධාංග ඇතුළත් ගැස්ට් පත්‍රයක් සති දෙකකින් නිකුත් කිරීමට කටයුතු කරනවා.
මේ ගැන අදාළ පාර්ශ්ව සියල්ල සමග සාකච්ඡාවක් කළා. කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුව අධික වේගයෙන් රිය ධාවනය. ඒ වගේම අවශ්‍ය වේගයට වඩා අඩු වේගයෙන් ගමන් කරන වාහන ඉස්සර කිරීමට යාමේදී සිදුවන අනතුරු, මෙන්ම බීමත්ව රිය පැදවීම වැනි කරුණු ඉදිරිපත් වුණා.
ඒ අනුව පුද්ගල භේදයකින් තොරව සැමට පොදුවන දැඩිව ක්‍රියාත්මක කරන රීති නීති පද්ධතියක් ඉතා කෙටිකාලයක් තුළදි ප්‍රකාශයට පත්කරනවා.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගය අදුරේ තිබෙන නිසා තමයි අනතුරු වෙන්නේ කියනවා. සාමාන්‍ය යෙන් අධිවේගී මාර්ග විදුලි ආලෝක කරන්නේ නෑ. එ සඳහා පරාවර්තන පුවරු තමයි සවි කරන්නේ. පිවිසුම් හා පිටවීම් ස්ථාන මෙන්ම සේවා සැපයුම් ස්ථාන තමයි විදුලි ආලෝක කරන්නේ.
තඹ කම්බි කපාගෙන යාම නිසා ඇලුමේනියම් භාවිතයෙන් විදුලිය ගෙන යාමට පරීක්ෂණ සිදු කරනවා. මේ වන විට ඒවා එලාගෙන යනවා. ඉතා ඉක්මනින් කටුනායක අධිවේගයේ අවශ්‍ය තැන්වලට විදුලිය ලැබෙයි.
මාධ්‍ය මගින් කියන ආකාරයට ප්රභූන්ට එක් නීතියකුත් අනිත් අයට එක නීතියකුත් නෑ. වේග සීමා උල්ලංගණය කරන අයට එරෙහිව පියවර ගන්න පොලීසියට අවස්ථාව තිබෙනවා. අධිවේගයේ අවම වේගයත් ඇතුළත්ව නව නීති මාලාවක් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා"