අලුත් අවුරුද්ද සඳහා ප්‍රධාන නගරවල සිට ජනතාවට ගම්බිම්වලට යෑම සඳහා මෙවර විශේෂ දුම්රිය දෙකක් පමණක්ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
විශේෂ දුම්රිය සේවා මෙවර විශාල ලෙස ක්‍රියාත්මක නොකළදමගී අවශ්‍යතා මත දුරගමන් සේවා දුම්රියවලට අමතර මැදිරි එකතු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මීට අමතරව සාමාන්‍ය පරිදි ධාවනය වන දුම්රියන් ඒ ආකාරයටම ධාවනය වන බවද ඔහු පවසා සිටියේය.
විශේෂ දුම්රිය දෙක අනිද්දා (08දා) සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, කොළඹ කොටුවේ සිට යාපනය දක්වාත් ධාවනය කරන බවත් හෙතෙම සඳහන් කළේය.
දුම්රිය නියාමකයන්ගේ හා රියදුරන්ගේ පවතින හිඟය නිසා බොහෝ ප්‍රදේශවලට මෙවර විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
පවතින ඉන්ධන හිඟය නිසා පෞද්ගලික බස් රථත් මෙවර විශේෂ බස් සේවා ක්‍රියාත්මක නොකරන බවත්,ඉන්ධන ලැබෙන ආකාරයට දුරගමන් සේවා බස් රථ ක්‍රියාත්මක වන බවත් බස් සංගම් සඳහන් කරයි.