එක් අලියෙක් පිටරටකට ගෙන ගිය විට ඒ සම්බන්ධයෙන් හඬනගා මෙරට බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමටත් සංස්කෘතිය වෙනස් කිරීමටත් සෝදාපාළුවට ලක් කිරීමටත් නොයෙක් සංවිධාන ක්‍රියා කරමින් සිටින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති .
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී ඊයේ (05) පැවති පෙරහැර සාකච්ඡාවේදී අනුනාහිමියන් ඒ බව අවධාරණය කළහ .
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවැසූහ.
“රටේ පෙරහැර සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා නොයෙකුත් බාධා මතු වෙමින් පවතිනවා. ඉන් ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙන්නේ හීලෑ අලි ඇතුන්ගේ හිගය. අලි බලන්න හිතාගෙනම පෙරහැර නැරඹීමට බොහෝ දෙනකු පැමිණෙනවා. පෙරහැරේ අලි ඇතුන් 100 ක් 200 ක් ගියොත් තමයි බොහෝදෙනකු පෙරහැර හොඳයි කියන්නේ. පෙරහැරේ නැටුම් නැතත් අලි ඇතුන් බලා සතුටු වෙන පිරිසක් සිටිනවා.
එක අලියෙක් පිටරටකට අරන් ගියාම කෑ ගහන්න හුඟක් අය ඉන්නවා. නමුත් මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරන්න පිරිසක් නැහැ. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුව තිබෙනා. ඉතිහාසය පුරා රැකගත් චාරිත්‍ර ධර්ම එසේම බෞද්ධ මුහුණුවර බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා නොවුණහොත් ඒවා ඉදිරියට පවත්වාගෙන යාම දුෂ්කරයි”