මහනුවර පිහිටි දේවාල වලට සහ එම දේවාල වලට අනුබද්ධිත පිටිසර දේවාල වලට බස්නායක නිලමේවරුන් පත්කිරීමේදී ඒ සඳහා ඡන්දය හිමි ප්රාදේශීය ලේකම්වරුන් විසින් අල්ලස් ලබාගෙන ඇත්දැයි සොයා බැලීම සඳහා පත් කරන ලද විමර්ශන කමිටුවේ දී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බව එම විමර්ශන කමිටුවේ ඉහළ නිලධාරියෙකු පැවසීය .
එම විමර්ශන කමිටුවේ ඉහළ නිලධාරියෙකුගෙන් සිදුකළ විමසීමකදී එම ඉහළ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී බස්නායක නිලමේ වරුන් පත් කිරීමේදී ඡන්දය ලබාදීම සඳහා ප්රාදේශීය ලේකම්වරුන් අල්ලස් ගත් බවට හෝ දුන් බවට කිසිවෙකුගෙන් හෝ කරුණු අනාවරණය වී නොමැති බවත් විමර්ශන කමිටුවට ලැබී ඇති බලතල අනුව ඒ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනය කිරීමට බලතල නොමැති බවත්ය .
ප්රාදේශීය ලේකම්වරුන් විසින් විමර්ශන කමිටුවට ඉදිරිපත් කළ ඔවුන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳව කිසිදු ගැටලුවක් මතුව නොමැති බවත් අදාල ප්රාදේශීය ලේකම්වරුන්ගේ බැංකු ගිණුම් සහ අනෙකුත් දේපොළ සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන කමිටුවට බලතල නොමැති බවද පැවසීය .
එසේ හෙයින් විමර්ශන කමිටුව විසින් හෙළිකරගත් කරුණු සියල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලබාදීමට පියවර ගන්නා බවත් එම කොමිසමට මෙවැනි සිද්ධීන් ගැඹුරින් විමර්ශනය කිරීමට බලතල තිබෙන බවද එම විමර්ශන නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.