වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිබඳ තීන්දුව ලබන මාර්තු මස 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු මඩුල්ල අද (21) තීරණය කළේය.
විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිබඳව ඉදිරිපත් කළ කරුණු මෙන්ම ඊට විරුද්ධව පැමිණිලි පාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණුද සැළකිල්ලට ගත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත්රීපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතිපතිවරයා මෙම නඩුව පවරන ලදී.
2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ මහරගම, නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සිවුදෙනෙකු ළඟ තබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අලි ඇතුන් සිවුදෙනෙකු ළඟ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, දණ්ඩ නීතී සංග්‍රහය යටතේ සහ පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘‘අලි රොෂාන්’’, උචිත නිශාන් ධම්මික, කේ. චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පී. ගමගේ ජයලත්, වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය භාරව සිටි ලිපිකාරිණී ප්‍රියංගිකා සංජීවනී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ (නීතී) උපාලි පද්මසිරි නමැත්තන්ටය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මනෝප්රිය ගුණසේකර