රට තුළ මේ වනවිට ඇති වී තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදකාරී තත්ත්වයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ රජයට භාරදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනාවලියක් සකස් කර තිබේ.
කරුණු 15කින් සමන්විත මෙම යෝජනාවලිය පෙබරවාරි මස 04වැනි සිකුරාදා රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් කෙටුම්පත් කර තිබෙන අතර, එම යෝජනාවලිය ඊයේ (05දා) දින පැවැත්වූ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී සම්මත කළ බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මෙම යෝජනාවලිය ඉදිරියේදී රජයට භාරදීමට සැලසුම් කර තිබෙන අතර, මෙහි පළමු යෝජනාව ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩනැගෙන්නේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන්නේත්, ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික සංවර්ධන ඉදිරි වැඩපිළිවෙළ සමග ඇති කර ගත් ප්‍රතිපත්තිමය එකඟතාවක් මත බව පළමුව සිහිපත් කිරීමට කැමති බවද සඳහන් කර තිබේ.
දෙවැනි යෝජනාව ලෙස සඳහන් කර තිබෙන්නේ, ජනතාව ‘සෞභාග්‍යයේ දැක්ම’ වැළඳ ගත්තේ හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණක් ලෙස නොවේ. එය 1977න් පසුව ක්‍රමානුකූලව අකර්මණ්‍ය කරනු ලැබුවා වූ ස්වදේශිකවාදී ආර්ථික, දේශපාලනික, සමාජමය ප්‍රතිපත්තිමය සැලසුම් නිසා ඇදවැටෙන ජාතික රාජ්‍යය දෙපයින් නගා සිටුවීමේ සම්මුතියක් ලෙස වටහා ගත්තද, වත්මන් ආණ්ඩුව විසින් තීන්දු නොගැනීම සහ ගනු ලබන්නා වූ තීන්දු තීරණවල අනිසි බලපෑම් හා අර්බුද කළමනාකරණ දුර්වලතාවන් සම්බන්ධයෙන් ජනතාව දැඩි කල කිරීමට පත්ව සිටින බවට අදාළ යෝජනාවේ සඳහන් කර ඇත.
ඒ අතරතුර දිනෙන් දින උග්‍ර වන අර්බුද රාශියක් ඔස්සේ දේශපාලන අස්ථාවරත්වයක් දක්වා තල්ලුවෙමින් තිබෙන බව පැහැදිලි බවත්, අන් කවර කලකටත් වඩා බුද්ධි ගලනය උත්සන්න වීමට මෙයද එක් හේතුවක් බවත් එමගින් පෙන්වාදී තිබේ.
හරිත ගොවිතැන ඉතා වැදගත් සංකල්පයක් වුවද, එය ක්‍රියාවට නැංවීමේදී ගනු ලැබූ අවිද්‍යාත්මක තීරණ මෙන්ම, උද්ගත වූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ගොවීන් අතර එම සංකල්පය පිළිබඳ ඇති වී ඇත්තේ, විරෝධාකල්පයක් බවත්, එම ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව දැඩි අර්බුදයකට ලක් වී ඇති බවත් එම යෝජනාවලියේ සඳහන් කර ඇත.
එසේම විදේශ සංචිත සිඳී ගිය තත්ත්වයක් තුළ, තේ ඇතුළු අපනයන භෝගයන්හි නිෂ්පාදනයද දැවැන්ත ලෙස කඩාවැටීම නිසා ශ්‍රී ලංකාව දැන් මුහුණ දෙන්නේ, පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට බව සඳහන් කළ යුතු බවත්, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුවන බවට පිළිගන්නා ආණ්ඩුව, ජාතික නිෂ්පාදන ධාරිතාවන් ඉහළ නැවීමට හා වියදම් අඩු කිරීමට ක්‍රමෝපායික පිළිවෙත් අනුගමනය කර ඇත්ද යන්නද එමගින් ප්‍රශ්න කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 3කට ආසන්න වන බැවින් මෙවර මහ කන්නයේ අස්වනු හානිය නිසා ඇති වන සහල් හිඟය පියවීමට ආණ්ඩුව වහා පියවර ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරන බවට සඳහන් කර තිබෙන අතර, වගා හානි පූර්ණය සඳහා මුල්‍යමය වශයෙන් වී ගොවීන්ට මෙන්ම තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අනෙකුත් සුළු අපනයන භෝග වගාකරුවන්ටද සහන සැලසිය යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස බවද පෙන්වාදී ඇත.
මීට අමතරව වර්තමානයේදී ඇති වී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳ හා කෝවිඩ් වසංගත තත්ත්වයට මුහුණුදීම පිළිබඳවත් අදාළ යෝජනාවලියට ඇතුළත් කර තිබේ.
