දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩ පිළිවෙල යටතේ සේවක අර්ථසාධක අරමුදල රජයට කරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්රතිලාභ අවම කිරීමට ගෙන ඇති තීරණයෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (26) ගොනු කළහ.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගෙන් විමසීමක් නොකොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවසර දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය නීති විරෝධී ක්‍රියාවක් බව පවසමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරු ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා, මූල්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.
මෙරට වැඩකරන මිලියන 2.5 ක පමණ ජනතාවකගේ සක්‍රීය ගිණුම් සේවක අර්ථසාධක අරමුදලේ ඇතැයිද අරමුදලේ ඇති මුදලින් විශාල ප්‍රමාණයක් මහ බැංකුවේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර ඇතැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම් සඳහා ගෙවනු ලබන පොළී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය අවසර ද ඇතැයිද පවසති.
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම් සඳහා ගෙවනු ලබන පොළීය සියයට 09 දක්වා පහත හෙළීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය කටයුතු කර ඇතැයිද ඉන් අරමුදලට ලැබෙන ආදායම කැපී පෙනෙන ආකාරයෙන් අඩුවන්නේ යැයිද සඳහන් කරන පෙත්සම්කරුවෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවසර දීමට පෙර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගෙන් විමසීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ක්‍රියා නොකළ බවත් එය බරපතළ නීති විරෝධී ක්‍රියාවක් බවත් සඳහන් කරති.
වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාව හේතූවෙන් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැය ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති”