අරගලයේ සියලු දෙනා මට විරුද්ධ නෑ
අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට නම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒකරාශි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහජන සභාව සමග ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් සමග මේ වන විට සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සහ රටේ සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ එහිදි දර්ඝ ලෙස සාකච්ඡා කෙරණු බව සිහිපත් කළේය.
ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග පමණක් තවම සාකච්ඡා කිරීමට ඇති බව ජනාධිපතිතුමා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“අරගලකරුවන් කියන්නේ එක කණ්ඩායමක් නෙවේ. කණ්ඩායම් ගණනාවක්. ඒ සියලුදෙනා මට විරුද්ධ නැහැ. අරගලයේ නිරත පිරිසක් අදත් පැමිණ සාකච්ඡා කළා. සාමකාමී අරගලකරුවන් සියලුදෙනා අපිත් සමග සාකච්ඡා කරනවා. විරුද්ධ අයත් ඉන්න පුලුවන්. ඒත් සියලුදෙනා අපිට විරුද්ධ නැහැ.
මොවුන් ඉතා නිර්මාණශීලි අය බව කිව යුතුයි. මම එය අගය කරනවා. ඒත් ඇතැම් වෙලාවක අරගලය ප්‍රචණ්ඩත්වයට ගියා. අපි ඒක පිළිගන්න ඕන, උදේ මමත් එක්ක සාකච්ඡා කළ අය ප්‍රකාශ කළේ ප්රචණ්ඩත්වය නිසා තමන් අරගලයෙන් ඉවත් වු බවයි. සංවිධාන ගණනාවක් එහෙම කියනවා.
ජනාධිපති මන්දිරයට කඩාපැන එහි සිදුකළ කටයුතු මම කිසිවිටෙක අනුමත කරන්නේ නැහැ. ඒක ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික එකක් නෙවේ. එය අපිට තිබෙන පොදු දේපළක්. එහි නැතිවෙලා තිබෙන සමහර දේවල් නැවත හොයා ගන්න බැරිවෙනවා. ජනාධිපති මන්දිරයත් අරගලකරුවන් අතේ, අරලියග මන්දිරයත් ඒගෝල්ලෝ අතේ, අන්තිමට අගමැති කාර්යාලයට ගියා. කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ. එය අවසන් වුණේ මගේ නිවස ගිනි තියලා. ඒවත් අපි හෙළා දකින්න ඕන. අරගලකරුවන් කවුරුත් ඒවා හෙළා දැක්කේ නැහැ.
ඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැති කාර්යාලයට. එතනදිත් වෙඩි තියන්න එපා කිව්වා. නැවත පාර්ලිමේන්තුවට ආවා. මම එතනදි ආරක්ෂක අංශවලට කිව්වා ගන්න තියන පියවරක් ගන්න කියලා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න තමයි එහෙම කළේ. ඒ අය මගෙත් එක්ක තරහ වෙන්න පුලුවන්. නමුත් අරගලකරුවන් පිරිසක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරන. ඒ අයට අනාගතයක් ලබා දෙන්න ඕන. ඔවුන් තමයි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ. ඔවුන්ව අපි අගය කරනවා. දැන් අපි සියලුදෙනා එකතු වෙන්න ඕන.
කොහොමද දැන් නීතිය කඩපු අයවයි, අනිත් අයවයි තෝරා බේරා ගන්නේ. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ජෝසප් ස්ටාලින් පිළිබද තිබෙන්නේ නීතිමය කටයුත්තක්. මම එතුමා සමග කතා කළා. අරගලය නිසා හොද දේත් සිදු වුණා. නරකත් සිදු වුණා. හොද විතරක් තියාගෙන අපි නරක පැත්තකට දාමු. නිතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩු පාඩු සිදුවුණා නම් අපි සාකච්ඡා කරලා ඒවා විසදා ගනිමු.
මෙහිදී අදහස් දැක්වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි,
ඔබතුමා පාර්ලිමේන්තුවේ දී කළ කතාව ඉතාමත් හරවත්. ඒ හරවත් බව පැහැදිළි වන්නේ මහා ජන සභාව ඉදිරිපත් කළ සෙංකඩගල ප්‍රකාශයට සාකල්‍යයෙන්ම ඔබතුමා එකඟ වන නිසා. රටේ දේශපාලන අස්ථාවරත්වය නැති කරලා ස්ථාවර භාවය ඇති කිරීමෙන් පසුව තමයි ලෝකයෙන් අපට යම් සහයෝගයක් ලැබෙන්නේ.
ඒක තමයි ඇත්ත. ඒක තමයි අපිට ආර්ථික දුෂ්කරතාවයෙන් මිදෙන්න තිබෙන මග. දේශපාලන ස්ථාවරත්වය සඳහා ඔබතුමා යෝජනා කරන සර්වපාක්ෂික වැඩපිළිවෙල තමයි සෙංකඩගල ප්‍රකාශයේ තිබෙන්නේ.
සර්ව පාක්ෂික අණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඔබතුමා අවංක උත්සාහයක යෙදෙයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සියලු දේශපාලන පක්ෂ බලාපොරොත්තු වන්නේ ඔබතුමා සමග මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමටයි.
නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි, දාමරික ත්‍රස්ත ක්‍රියා අපි කිසි කලෙක අනුමත කරන්නේ නැහැ. මෙම ත්‍රස්තවාදී නින්දිත ක්‍රියා අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් සාමකාමීව ජන අරගල, උද්ඝෝෂන ක්‍රියාත්මක වුණේ මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් නැති නිසා. ඔබතුමා ඒක හොදටම දන්නවා.
ඒ නිසා ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට මහජනතාව සම්බන්ධ කර ගන්න ඕන. සර්ව පාක්ෂික ස්ථාවරත්වය හදා ගන්න රට තුළ ඔබතුමා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සාමකාමී වැඩපිළිවෙළට එක්වීමට අපි සුදානම්. අපි සාකච්ඡා කරමු.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,
අපි හැම කටයුත්තක්ම කරන්නේ නීතියට අනුව. අරගලයේ නිරත වූ පිරිස් සාමකාමී කණ්ඩායම්ද, ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් ද කියා අපට රේඛාවකින් බෙදන්න බැහැ. එහෙත් අත්අඩංගුවට පත් වූ පිරිස අතර යම් අයෙකු සාමකාමී අරගලයක නිරත වු බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකිනම් අපිට ඒ පිළිබද කටයුතු කළ හැකියි.

popular news
-
Demuni Uduwara Sunday, 07 August 2022 12:37 AM
An organized, pre-planned section have entered in to the buildings where damages occurred, destruction or devastated effects therein and they posed as strugglers.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

