ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් වැඩිමහල් සහෝදරයාගේ රුපියල් හැට දහසක කොන්ත්‍රාත්තුවක් මත එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බාල සොහොයුරා ඇතුළු දෙදෙනෙකු බරපතළ තුවාල ලබා (19) දා රාත්‍රී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
පහරකෑමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට 19 දා රාත්‍රීයේම මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
හෝමාගම මාඹුල්ගොඩ ප්‍රදේශයේ පාසල් උපකරණ අලෙවි මධ්‍යස්ථානයක හිමිකරුවෙකු වෙළඳ සැල තුළ රැඳී සිටියදී 19 දා රාත්‍රී 07.30 කිසියම් පුද්ගලයකු වෙළඳසැල තුළට පැමිණ ඔහු සඟවාගෙන ආ කඩුවක් එළියට ගෙන වෙළෙඳසල් හිමිකරුට පහර දී තිබේ.
පහරදීම සිදුවන අවස්ථාවේදී යාබද රැඳී සිටි වෙනත් පුද්ගලයකු ප්‍රහාරය වැලැක්වීම සදහා උත්සාහ දැරීමේදී එම පුද්ගලයාට ද සැකකරු තියුණු ආයුධ පහරක් එල්ල කොට පළා ගොස් තිබේ.
පහරකෑමෙන් එක් පුද්ගලයකුගේ ගෙලට හා අනිත් පුද්ගලයාගේ දකුණු ඇල පොතට හා දකුණු ඇඟිල්ලකට බරපතළ තුවාල සිදුව තිබූ අතර ප්‍රතිකාර සඳහා කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව රෝගීන් දෙදෙනාට මූලික ප්‍රතිකාර ඒකකයේ දී ප්‍රතිකාර ලබාදී දකුණු ඇලපතට සහ දකුණු ඇඟිල්ලට තුවාල සිදුව තිබූ පුද්ගලයා 19 දා රාත්‍රියේදීම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් අනෙත් පුද්ගලයා ශල්‍යකර්මයකට භාජනය කොට දැඩි සත්කාර ඒකකය ඇතුළත් කිරීමෙන් පසුව 20 දා දහවල් සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු (50 සහ 53) වයසේ පසු වන එම ප්‍රදේශයෙන් පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම වෙළද සැල හිමිකරු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා අතර කලක සිට ඉඩම් ආරවුලක් පැවති අතර ඊට පලිගැනීමක් ලෙස වැඩිමහල් සොහොයුරා විසින් රුපියල් 60,000ක කොන්ත්‍රාත්තුවක් දී බාල සොහොයුරාට මෙසේ පහර දීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පැවසේ .
සිද්ධියෙන් පසුව පහරදීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි .