ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊළඟ වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් බලපාන ඉතාම වැදගත් ප්‍රකාශයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතයා විසින් ප්‍රකාශ කළා. මෑත කාලයේ ලංකාවේ නියෝජිත පිරිසක් වොෂින්ටනයට ගිහින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළා ඊලඟ වාරිකය ගැන.
එහිදී මාණ්ඩලකි මට්ටමේ ගිවිසුමක් ආ බව තමයි පැවසූවේ. නමුත් මේ එකඟතාවය අධ්යක්ෂ මණ්ඩල එකඟතාවයක් හරහා ගියොත් තමයි අපට අරමුදල් නැවත ලැබෙන්නේ. දැන් මේ ලංකාවේ මූල්‍ය අරමුදලේ නියෝජිතයා වන ඉවාන් පැෆා ජුවායූ තැපාජියෝ මහත්මයා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා කරුණු දෙකක් ඉෂ්ඨ නොකල නිසා මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊලඟ වාරිකය පිළිබඳ තීරණය අධ්‍යක්ෂක මණ්ඩලය නොගෙන ඉන්න තිබෙන ඉඩකඩ වැඩියි කියලා. එහෙම වුණොත් නිශ්චිතවම අනිත් ප්‍රශ්න අපිට පැනනගිනවා. මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව, ජාත්‍යන්තර ආයතන වල අප පිළිබඳව තිබෙන විශ්වාසය පිළිබඳව සහ තවත් කරුණු ගණනාවක් පිළිබඳව ප්‍රශ්න පැන නැගිලා අපි අර්බුදයට යනවා.
රජය මොන කතා ඡන්දෙට කලින් කිව්වත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග රනිල් වික්‍රමසිංහ මහත්මයා හදාගත්ත එකඟතාවය ඉස්පිල්ලක් පාපිල්ලක් අතහරින්නේ නැතිව ක්‍රියාත්මක කරගෙන ආවා මේ දක්වා. දැන් ඔවුන්ට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා ඔවුන් විසින්ම හදාගත්ත ගැටළු කිහිපයක් නිසා. පළවෙනි කාරණය තමයි ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්පූර්ණ නොකලා කියන එක.
රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අවසාන කාලයේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී එකඟතාවයක් ආවා, තිබුණු ලොකුම ප්රශ්නය විසඳුනා. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කරන ගැන ගැටළුව. ඒ අනුව දැන් ඒ බැඳුම්කර නිකුත් කරලා ඒ ප්රශ්නය විසඳිලා තියෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා නිසි සහතික තවම ද්වීපාර්ශවික ආයතන වලින් , ජපානය, චීනය වැනි රටවලින් සහතිකය තවම ස්ථීරව ලැබිලා නෑ කියලා.
ඒ සියල්ලටම වඩා තිබෙන ගැටළුව තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මහින්ද රාජපක්ෂගේ කාලයේ ගත්ත ඩොලර් මිලියන 175ක බැඳුම්කර. ඒ ප්රශ්නය විසඳාගන්න මේ මාස 07 දක්වා මේ රජය අසමත් වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ අකුරක්, ස්පිල්ලක් නෑර ඒ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළාට ශ්‍රී ලංකන් ගුවන් සේවය හා එහි ණය බර පිළිබඳ ප්රශ්නය විසඳලා නෑ.
විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා ප්‍රකාශ කරලා තියෙනවා බිලියන 20ක් වැනි මුදලක් අයවැයෙන් වෙන් කළේ ඇයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට කියන ප්රශ්නය. දැන් අපිට මේ තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වසනීය සහතිකය නැතිවෙන්න යනවා.
ඊලඟට රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය ඔහු ප්‍රශ්න කරලා තියෙනවා. ඒ කියන්නේ මේ තැපාජියෝ මහත්මයා ප්‍රශ්න කරලා තියෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ගත්ත පියවර මොනවද කියලා.
අපි අමතක කරන්න හොඳ නෑ වෘත්තීය සමිති නායකයන් ගණනාවක් ඉන්නවා තෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත කරණයට විරුද්ධව පාරට බැහැපු අය අද පාර්ලිමේන්තු මන්ත්‍රීලා වෙලා ඉන්නවා. ඒ අතර ජනාධිපතිවරයා නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙලා එතුමා මේ තත්ත්වයන් පැහැදිලි කරන්න උත්සාහයක් ගත්තා. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ හා තෙල් සංස්ථාවේ අය ක්‍රමය හා මිල ගණන් ගැන. ඒ වගේම විදුලි මිල සම්බන්ධයෙන් විස්තරාත්මක ප්‍රකාශයක් කළා."