ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන ලෙස රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම සඳහා ජනතාව වෙත තවත් බර පැටවීමක් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා නොකරන බැවින් ඊට අදාළව විකල්ප යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඔක්තෝබර් 15 වැනිදා චීනයේ සංචාරයක නියුතු වීමට නියමිතව තිබෙන බවත්, ඒ අනුව චීනය සමඟ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද්වි පාර්ශ්වික සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද (09දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් දැක්වීය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි දෙවැනි වාරිකය ලැබෙන්නේ නැහැ කියලා විපක්ෂය දිගින් දිගටම කිව්වා. යද්දි කිව්වා ලැබෙන්නේ නැහැ කියලා. ලැබුණට පස්සේ කිව්වා, ප්‍රමාදවෙලා යන්න එපා කියලා අපි කිව්වා කියලා. මේකට දැන් ප්‍රමාද වැඩියි කියලා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රැස්වීම මොරොක්කෝවේ දී පැවැත්වෙනවා.
ඒ සඳහා මහ බැංකුවේ අධිපතිතුමා, ෂෙහාන් සේමසිංහ අමාත්‍ය තුමා ඇතුළු පිරිසක් සහභාගි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහුගිය කාලේ කිව්වේ, රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම සඳහා තවත් ජනතාව වෙත බර පැටවීමක් අවශ්‍ය වන බවයි.
නමුත් ජනාධිපතිතුමා එවැනි බරක් ජනතාවට තවදුරටත් පැටවීමට අපේක්ෂා කරන්නේ නැහැ. ඔහු කිව්වේ දිගින් දිගටම ජනතාවට සහන දීම අවශ්‍යයි කියලා. එනිසා විකල්ප යෝජනා ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට මේ දූත පිරිස බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම සජබ පිරිස කියනවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණය තියයිද දන්නෙත් නෑ. දැන් ඒකටත් බයයි කියලා. එක් අතකින් බය වෙන්නත් ඕනේ, මේ වගේ මිනිස්සු අතට මේ රට ගියොත් රටට වන විනාශය ගැන දැන් ඉඳන්ම කියන්නට පුළුවන්.
මැතිවරණයක් මේ අවුරුද්දේ ඇත්තෙත් නැහැ. මැතිවරණය නිශ්චිත කාලයට ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමිසම සතුවයි තිබෙන්නේ. එක්කෝ ව්‍යවස්ථාව දන්නෙ නැහැ. නැත්නම් මැතිවරණ නීතිය දන්නේ නැහැ. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නිශ්චිත කාලය ආ පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මැතිවරණ කොමසාරිස් වරයාට ඉදිරිපත් කරයි.
මැතිවරණ පැවැත්වීම කොමිසමේ කාර්යභාරය කියන එක අපි හැමෝටම තේරෙනවා. මැතිවරණ පැවැත්වීම ජනාධිපතිවරයාගේ කාර්යභාරය නෙවෙයි. එය මැතිවරණ කොමිසම නියමිත කාලයට පවත්වාවි.* යනුවෙන් ද කීවේය.