අස්වැසුම ප්රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා හා විරෝධතා ලක්ෂ 11ක පමණ ප්‍රමාණයෙන්, මේ වනවිට 92000ක පමණ අයදුම් පත්‍ර සලකා බැලීම සිදු කර අවසන් බවත්, ඉන් 243000ක ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභින් ලෙස නව ප්‍රතිලාභීන් පිරිසක් හඳුනා ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ඉකුත්දා අනුරාධපුර - නාච්චාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවති සංවර්ධන කමිටු රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
නව ප්‍රතිලාභීන් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීම සඳහා සැලසුම් මේ වන විට සූදානම් කර ඇති බවත් මෙහිදී අස්වැසුම ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබන පුද්ගලයින් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
"අස්වැසුම ප්රතිලාභ ලබා දීමට කැබිනට් මණ්ඩලය ප්රමුඛ පාර්ලිමේන්තුව විසින් ප්‍රතිලාභීන් මිලියන 20ක් සඳහා අනුමැතිය ලබාදී තිබුණත් ඉන්පසුව ලැබුණු ඉල්ලීම් මත පවුල් 2400000 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. එය මේ වසරේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාර්තු මාසයේදී පමණ දෙවන සමාලෝචනය සිදු කිරීමට නියමිතයි. ඒ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම අනුව කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබුණා.
මේ වනවිට සියයට අටකට තිබූ රාජ්‍ය ආදායම 11.2 % දක්වා වැඩි කර ගැනීමට රජයට හැකි වූවා. 2026 වසර වන විට 15% දක්වා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම බලාපොරොත්තුවනවා. මෙහිදී බදු නොගෙවෙන සහ අඩුවෙන් බදු ගෙවන පිරිස් පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
සෘණාතමක ආර්ථික ක්‍රමය ධනාත්මක ආර්ථික ක්‍රමයක් බවට පත්කර ගැනීම අවධානය යොමු කල යුතු වනවා. පවතින නායකත්වය සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණය තව දුරටත් ශක්තිමත් කර ගෙන පවත්වා ගෙන යෑම සිදු කල යුතුයි."