අයවැය අවසන් වාර්තාවට මුදල් කාරක සභාවේ අනුමතිය
2025 සැප්තැම්බර් 04 දිනැති අංක 2452/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි, ජාතික විගණන කාර්යාලයේ 2026 සඳහා වාර්ෂික වැඩ වැඩසටහන සහ 2026 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතේ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කරන ලද අවසන් වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි (NMRA) පිළිබඳ සාකච්ඡාවේදී, ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී එම පද්ධතියේ පවතින විනිවිදභාවය සහ පාරදෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා කාරක සභාව නිර්දේශ කළේය. ඒ අනුව, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2452/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමත කරන ලදී.
අනතුරුව ජාතික විගණන කාර්යාලයේ 2026 වාර්ෂික වැඩ වැඩසටහන ද කාරක සභාව විසින් සලකා බලන ලදී. එම වැඩසටහනට අනුව 2026 වසරේදී විගණන 3,508 ක් සිදු කිරීමට නියමිතය. ඒ යටතට මූල්‍ය විගණන 3,484 ක්, කාර්ය සාධන විගණන 11 ක්, පාරිසරික විගණන 1 ක්, විශේෂ විගණන 12 ක් ඇතුළත් වේ. තවද සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සහ සමෘද්ධි ප්‍රජා පාදක බැංකු සංගම්වල විගණන කටයුතු ද 2026 වසරේ සිට විගණකාධිපතිවරයා වෙත අලුතින් පවරා ඇත.
මෙහිදී සමෘද්ධි විගණන සිදු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ධාරිතාව පිළිබඳව කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. ඊට පිළිතුරු ලබාදෙමින් වැඩබලන විගණකාධිපතිවරයා වත්මන් කාර්ය මණ්ඩලයට අමතරව 10% ත් අතර 15% ක අමතර කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බව ප්‍රකාශ කළේය. කාරක සභාවට වැඩි දුරටත් කරුණු දක්වමින් වැඩබලන විගණකාධිපතිවරයා මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල හරහා නියමු විගණන පරීක්ෂණ සිදු කරන අතර එම ක්‍රියාවලිය ලබන පෙබරවාරි මස අග දක්වා ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව අලුතින් පිරිස් බඳවා ගන්නවාද නැත්නම් බාහිරින් සේවාවන් ලබාගෙන එම විගණනය සිදු කරන්නේ ද යන්න තීරණය කරන බව පැවසීය.
ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විගණකාධිපතිවරයාගේ ඇගයීමට යටත්ව සමෘද්ධි සම්බන්ධ අතිරේක විගණන කටයුතු බාහිරකරණය කිරීමට කාරක සභාව සහාය දක්වන බවට කථානායවරයාට නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟ විය. ඒ අනුව, ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ ව්‍යාපෘතියක් සිදු කර 2026 පෙබරවාරි මස අවසානයේදී ඒ සම්බන්ධ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.
තවද 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ ස්ථාවර නියෝග 121(5)(ii) යටතේ සකස් කළ අවසන් වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එළඹෙන වර්ෂය සඳහා වන අමාත්‍යාංශ අයවැය යෝජනා සහ මූල්‍ය වෙන් කිරීම් පිළිබඳ කාරක සභාවේ සමාලෝචනයෙන් පසු එහි නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවේ දක්වා ඇත
ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ප්‍රතිපාදන ලබා දීම සඳහා වන යෝජනාව සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
ඒ අනුව 2025 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන හා 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමතය පරිදි රජය විසින් ලබා ගන්නා ලද ඕනෑම ණය මුදලකින් රුපියල් මිලියන පනස් දහසක් (රු. 50,000,000,000) නොඉක්මවන අතිරේක මුදලක් ගෙවිය යුතු බවටත් එවැනි මුදලක් වියදම් කළ යුතු බවත් අදාළ යෝජනාවේ සඳහන් වී ඇත.
2460/44 අංක අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. මෙම රැස්වීම් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

