මානව හිමිකම් මුවාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑම් කිරීමට සමහර බටහිර රටවල් පුරුදු වී සිටින බවත්, චීනය මෙයට තදින්ම විරුද්ධ බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එකිනෙකාට සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පැවසීය.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග දුරකථන සංවාදයකට ඊයේ එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව හා චීනය අවංක අන්‍යෝන්‍ය සහයෝගය සහ කල් පවත්නා මිත්‍රත්වයේ උපායමාර්ගික හවුල්කරුවන් බව වැන්ග් යී මෙහිදී පැවැසීය.
පසුගිය වසර පුරා දෙරට අතර වසංගතයට එරෙහිව සටන් කිරීමට අත්වැල් බැඳගෙන එකිනෙකාට සහයෝගය දුන් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් සංවර්ධන වේගයක් පවත්වා ගෙන ගිය බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම වසර චීන කොමියුනිස්ට් පක්ෂය (සීපීසී) පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සනිටුහන් කරන බව සඳහන් කළ වැන්ග්, චීනය අන්ත දරිද්‍රතාවය තුරන් කිරීමේ ජයග්‍රහණය දිනාගෙන ඇති බවත්, සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සඳහා විශාල ප්‍රතිඵල ලබාගෙන ඇති බවත් ඔහු පැවැසීය.
එසේම නූතන සමාජවාදී රටක් මුළුමනින්ම ගොඩනැගීම සඳහා නව ගමනක් චීනය ආරම්භ කර ඇති බවත් වැන්ග් යී පැවැසීය.
චීනයේ සංවර්ධනය යනු සාමය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධනය සඳහා වන බලවේගයක් වන අතර එමඟින් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි සංවර්ධන අවස්ථා ලබා දෙනු ඇතැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය නංවාලීම, ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය වැඩිදියුණු කිරීම සඳහා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ප්‍රධාන එන්ජින් දෙකක් බවට පත් කිරීමට එක් තීරයක් එක් මාවතක් රාමුව තුළ සහයෝගීතාවයේ ශක්තිමත් ප්‍රගතියක් ලබා ගැනීමට අවස්ථාව ඇති බව වැන්ග් යී පැවැසීය.
ශ්‍රී ලංකාව චීනය සිය සමීපතම මිතුරා ලෙස සලකන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ අභ්‍යන්තර හා බාහිර අභියෝගයන්ට මුහුණ දීම සඳහා චීනය දිගු කාලීනව, පරාර්ථකාමී ලෙස උපකාර කිරීම ගැන අවංකවම ස්තූතිවන්ත වන බවත් ගුණවර්ධන මහතා පැවසීය.
කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා වන ප්‍රධාන ව්‍යාපෘති බව අවධාරණය කළ දිනේෂ් ගුණවර්ධන මහතා තවත් චීන ආයෝජන, ව්‍යාපාරිකයින් සහ සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බවද පැවැසීය.
මෑත වසරවලදී එක්සත් ජනපදය ඇතුළු සමහර බටහිර රටවල් යළිත් වරක් මානව හිමිකම් ප්රශ්නය ඉදිරියට ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට පදනම් විරහිතව චෝදනා කර ඇති බවත් ඔහු පැවැසීය.
චීනය දිගින් දිගටම යුක්තිය ඉෂ්ට කර සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ නැගී සිටිනු ඇතැයි බලාපොරොත්තු බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් ගුණවර්ධන මහතා චීනයට උණුසුම් ලෙස සුබ පැතුම් එක්කළ අතර චීනය පක්ෂයේ නායකත්වය යටතේ මුළුමනින්ම දරිද්‍රතාවයෙන් මිදී, විශාල සංවර්ධන ජයග්‍රහණ ලබා ඇති අතර, එහි ජනතාවගේ ජීවනෝපාය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇති බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
චීනය අනෙකුත් රටවල්ද පොදු සංවර්ධනය කරා ගෙන යන අතර මානව ශිෂ්ඨාචාරයට වැදගත් දායකත්වයක් ලබා දී ඇතැයි ගුණවර්ධන මහතා පැවසීය.
මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් චීනයේ සාධාරණ ස්ථාවරය ශ්‍රී ලංකාව අගය කරන අතර කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා චීනය සමඟ අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බවත් ගුණවර්ධන මහතා පැවැසීය.
"සින්ජියැන්ග් සහ හොංකොං පිළිබඳ චෝදනා පදනම් විරහිතයි. ෂින්ජියැන්ග්, හොංකොං සම්බන්ධ ගැටළු සහ එක්-චීන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපි චීනයට ස්ථිරව සහාය දෙනවා" යැයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.