සජබ ඡන්දයට විරුද්ධයි
ටී.එන්.ඒ.නොපැමිණෙයි
113කින් අයවැය සම්මත කරන බව පොහොට්ටුව කියයි
2023 අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම අද (08දා) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවත්, සිය පක්ෂය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ආණ්ඩුවට එකතුවීමට කටයුතු නොකරන බවත් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා 'අද' පුවත්පතට පැවසීය.
මේ අතර අයවැය සම්මත කර ගැනීම සඳහා ඡන්ද 113ට වැඩියෙන් ලැබෙන බවට තමාට ස්ථිර වශයෙන් කිවහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා 'අද' පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් පැවසීය. මීට පෙර විශාල ඡන්ද ලබා ගැනීමට ගොස් සිය ආණ්ඩුවට වැරදුනු බවද මහලේකම්වරයා සඳහන් කළේය.
අයවැය ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීමෙන් වැළකී සිටින බවත්, මේ ආකාරයෙන්ම අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදීත් කටයුතු කළ බවත් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා 'අද' පුවත්පතට පැවසීය.
මේ අතර අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා 'අද' පුවත්පතට පැවසීය.
අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීම සහ අයවැය ඡන්ද විමසීම පැවැත්වීම මූලික කරගෙන සාමාන්‍ය පාර්ලිමේන්තු දිනවලදී ලබාදෙන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් මෙලෙස ලබාදීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පසුගිය 22වැනිදා පැවැති අතර එහිදී වැඩි ඡන්ද 37කින් අයවැය දෙවැනිවර කියවීම සම්මත විය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 121ක්ද, විරුද්ධව ඡන්ද 84ක් සහ එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියහ. ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටියහ.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියහ.