අමාත්‍යවරුන්ගෙන් ගත් බංගලා වල අධිකරණ ස්ථාපිත කිරීම කඩිනම් කරන්න
හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත් නිල නිවාසවලට උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට වෙත ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ සහභාගිවෙමිනි.
දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී තිබේ.
ඒ අනුව අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටා ඇති හිටපු අමාත්‍ය නිල නිවාසය තුළ මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීමේ විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති අතර, තවදුරටත් අවශ්‍ය පහසුකම් ලබාදීම කඩිනම් කරන ලෙස අමාත්‍යතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදීම සිදු කරන ලදී.
අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක B 108, විජේරාම පාර, කොළඹ 07 සහ B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය කොළඹ 07 යන ස්ථානයන්හි පිහිටි හිටපු අමාත්‍ය නිල නිවාස ද අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වු අතර, එම නිල නිවාසවල අධිකරණ පිහිටුවීමට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.
මේ අතර, කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අද ( 12) සහභාගි විය.
අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කෘත්‍යයන් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ අවසන් කර ඇති පරිශ්‍රයේ පවත්වා ගෙන යන ලදී.
මේ වන විට උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ අවසන් කර ඇති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු එම ස්ථානයටම ගෙන ගොස් ඇති බැවින් නඩු කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රය තුළ නව මහාධිකරණ පහක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශයේ උසස් නිලධාරීන් අවස්ථාවට එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

