අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පැය දොළහක් තුළ ස්ථාන දෙකකදී සිදුවූ වෙඩි තැබීම් දෙකේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් පමණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවට ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
වෙඩි තැබීම් දෙකෙන් පළමු වැන්න මැයි මස 25 වැනිදා රෑ වතුගෙදර ආදාදොළ පදේශයේ දී සිදුවූ අතර එහිදී අම්බලන්ගොඩ කෝටිපති වයාපාරික හැළඹගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ඉලක්ක කොට සිදුවූවකි.
එම වෙඩි තැබීමෙන් ඔහුට වෙඩි නොවැදී දිවි බේරාගෙන ඇත්තේ ඒ ආසන්නයේ තිබූ වෙළකට පැනය.අනෙක් වෙඩි තැබීම මැයි 26 වැනිදා උදේ සිදුවූ අතර එම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජය විදුහල්පති ධනුක ද සිල්වා මහතා තුවාල ලබා ඇති බවත් ඔහු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය කියයි.
වෙඩි තැබීම් දෙක සිදු කළ අපරාධකරුවන් මෙතෙක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට නොහැකිවූ බැවින් අදාළ පොලිස් ස්ථානය වන අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශය,ගාල්ල අපරාධ කොට්ඨාසය, ඇල්පිටිය කොට්ඨාස විශේෂ විමර්ශණ ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඇල්පිටිය පොලිස් අධිකාරි විශේෂ පොලිස් කණ්ඩායම යන පොලිස් කණ්ඩායම් හය මේ සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
මේ වෙඩි තැබීම් දෙකම පාතාල කණ්ඩායම් මෙහෙය වන කණ්ඩායම් වල වැඩක් බවත් සිදුවීම් දෙකම එකම කණ්ඩායමක් විසින් ද නැතහොත් කණ්ඩායම් දෙකක් විසින් සිදු කරනු ලැබූවක් ද යන්න සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බව ද එම කාර්යාලය කියයි.
කෙසේවෙතත් මේ වෙඩි තැබීම් දෙකම සදහා භාවිතා කොට ඇත්තේ එකම වර්ගයේ පතුරම් බවට අනාවර්ණයවූ බවත් බොහෝ වෙලාවට මේ සිදුවීම් දෙකම එකම කණ්ඩායමක කියා කාරකමක් විය හැකි බවද පොලීසිය කියයි.
වෙඩි වැදී තුවාල සිදුවූ නියෝජ්‍ය විදුහල්පතිවරයා කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ ඉතා කිට්ටුම ඥාතියෙකු බවත් ඔහුට වෙඩි තබා යන වෙඩික්කරුවන් පලා යන සී.සී.ටී.වී.දර්ශන ලැබී ඇති බවත් එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.