"මට අමතක නොවන උපන් දින තෑග්ගක් දීලා දරුවෝ තුන්දෙනාම කළුගගේ ගහගෙන ගියා" යැයි කළු ගගේ ගිලී මියගිය යමල් සපුගේ ඉමංගි චතුභාෂිනී (15) ගේ මව වන වලිමුණි කෝකිලා ජයන්ති සිල්වා මහත්මිය හඩාවැටෙමින් පැවසීය .
කළුගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ ඊයේ (14) පස්වරුවේ දියනෑමට ගොස් සිටියදී දියේගිලී තෙන්නකෝන් ආරච්ච්ලලාගේ තිවිදු සත්සර (18), මුකටියවත්තගේ සුභානී සුපේසලා (16) සහ යමල් සපුගේ ඉමංගි චතුභාෂිනී (15) යන අය මියගොස් තිබුණි.
මියගොස් සිටී අයවලුන්ගේ හදිසි මරණ පරීක්ෂණය කළුතර හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා ඉදිරියේදී අද (15) සිදුකරන ලදී.
හදිසි මරණ පරීක්ෂ වරයා ඉදිරියේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඇය මෙසේද පැවසීය.
"දියේගිලී මියගොස් ඇත්තේ මගේ තුන්වන දියණිය යමල් සපුගේ ඉමංගී චතුභාෂිනී. ඇය කළුතර ශාන්ත ජෝන් විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබනවා. එයා කසාද බදින්න පුතා එක්ක යාලුවෝ පිරිසක් ඇවිත් මගේ උපන් දිනයට කේක් කපලා අපි කළුතර මුහුදේ නාන්න ගියා.
මුහුදේ නාල ආයේ ගගට නාන්න ගියා. මගේ දුවයි එයාගෙ අත් අල්ලගෙන හිටපු සුභානී දුවයි ගගේ ගහගෙන ගියා. එයාලා බේරගන්න තිවිදු පුතා පැන්නා තුන්දෙනාම නොපෙනි ගියා. එතන හිටපු තරුණ ළමයෙක් ගගට පැනලා පුතාව ගොඩට ගත්තා. පැය භාගයක් විතර වාහනයක් නැතිව හිටියා. වාහනයක් තිබුනා නම් පුතාව බේරගන්න තිබුණා" යනුවෙන් පැවසීය .
දියේගිලී මියගිය මුකටියවත්තගේ සුභානී සුපේසලා (16) යන අයගේ මව වන පතිරණ මුදියාන්සේලාගේ ටෙක්ලා නෙරංජනී යන අය සාක්කි දෙමින් මෙසේ පැවසීය. "මියගොස් ඇත්තේ මගේ දෙවනි දුව. මම මේ ගමන යන්න එපා කිව්වාම එයා මා එක්ක රන්ඩු කලා. මම ණය වගයක් බේරන්න කඩේට ගිය වෙලාවේ ලොකු දුවත් එක්ක හොරෙන් ගිහින්. මගේ දරුවත් කළු ගගේ ගහගෙන ගිහින් කීවාම බස් එකේ යන්න වත් මා ළග සල්ලි තිබුනේ නෑ. අල්ලපු ගේක ළමයෙක්ගේ බයික් එකකින් නාගොඩ රෝහලට ආවාම දැනගත්තේ මගේ පණ නැතිවෙලා කියලා."
මියගිය සුභානි සුපේසලා ගේ වැඩිමහල් සොයුරිය වන කොටියාවත්තගේ හිරුණි වත්සලා:. "අපි කළු ගගේ එකට නෑවා. මම ගොඩට ඇවිත් බලනකොට නංගි හිටියේ නෑ. එයා අත් අල්ලගෙන හිටපු අනිත් යාළුවා එක්ක ගහගෙන යනවා දැක්කා. අපි බේරදෙන්න කියා කෑ ගැහුවා බෝට්ටුවකින් ආපු මාමලා නංගිවයි ඉමංගිව යි ගොඩට ගෙනාවා. කළුතර රෝහලට ගෙනාවට පස්සේ නංගි මියගිහින් කියලා දැනගත්තා."
තෙන්නකෝන් ආරච්ච්ගේ තිවිදු සත්සර ගේ සීයා වන ගුලවිට ගනිතගේ ගුණපාල (73) යන අය සාක්කි දෙමින් මෙසේ පැවසීය. "මියගොස් ඇත්තේ මගේ මුණුබුරා. එයාගේ අම්මා එයාට අවුරුද්දක් වෙද්දි පිළිකාවකින් මියගියා. අවුරුදු 17 ක් මම පුතාව හදාගත්තේ. පුතා ආච්චිට කියලා තිබුනා. උපන් දිනේකට කේක් කපන්න යනවා කියලා. සවස කෝල් එකක් ආවා පුතාට අසනීපයි නාගොඩ රෝහලට එන්න කියලා . ආවම දැනගත්තේ කළු ගගේ ගිලිලා මියගිහින් කියලා."
කළුතර හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් මරණ පරීක්ෂණය සිදුකරන ලදී. පොලිස් සැරයන් එස්.ඒ.ආර්.කේ.ද සිල්වා (55318) පොලිසිය වෙනුවෙන් සාක්කි මෙහෙයවීය.
කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්ලිව්. කේ. වෙනුරජිත් සහ එම්.කේ.චානුක යන මහත්වරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු දියේගිලී හුස්ම හිරවීමේන් සිදුවූ මරණ බවට නිගමනය කර තිබේ.
පානදුර සුමිත් පොතුපිටිය සහ කළුතර සුනිල් එස් තන්ත්රිආරච්චි
