රට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරදූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.
ඓතිහාසික අනුරාධපුර පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය විහාරාධිපති හිමියන් ඊයේ (20) පෙරවරුවේ බැහැ දුටු අවස්ථාවේ කෙටි අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලි මහා සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස පැවති විශේෂ ආගමික වතාවත්වලට ද සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
මේ අතර ජනාධිපතිවරයා ලංකාරාම මහා විහාරය වෙත පැමිණ ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ ද, ථූපාරාම විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය කහල්ලේ ඥානීන්ද නායක හිමිපාණන් වහන්සේ ද, මිරිසවැටිය රජමහා විහාරය වෙත පැමිණ විහාරාධිකාරී අතිපූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක නායක හිමිපාණන් වහන්සේ ද, බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජේතවනාරාම විහාරාධිපති අතිපූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නායක හිමිපාණන් වහන්සේ, අභයගිරිය රාජමහා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක හිමිපාණන් වහන්සේ සහ ඉසුරුමුණිය රාජමහා විහාරස්ථානය වෙත පැමිණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල නායක හිමිපාණන් වහන්සේ ද බැහැ දැක සුව දුක් විමසීය.
අනතුරුව අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත පැමිණ විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන වෙත පැමිණ පාලන විහාරාධිපති ශාස්ත්‍රපති, ත්‍රිපිටකවේදී පූජ්‍ය අටබාගේ විමලඥාන හිමිපාණන් වහන්සේ සහ පාලක විහාරාධිපති හා පරිවෙනාධිපති, ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික අතිපූජ්‍ය උඩගබ්බල ඤාණාලෝක ස්ථවිරයන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කළ උන්වහන්සේ මෙසේ ද කීය.
ජනාධිපතිවරයාට රට භාර ගැනීමට සිදු වුයේ රට සියලු පැතිකඩයන්ගෙන් අගාධයට වැටි තිබූ මොහොතකයි. ඉදිරියටත් රට වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා සියලු නිවැරදි තීන්දු තීරණවලට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා. එම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි දක්ෂ හා නිවැරදි කණ්ඩායමක් තෝරා ගනිමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීම උදෙසා එකම අරමුණක් ඔස්සේ ඔවුන් මෙහෙයවීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙනවා.
අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියෝ මෙසේ කීය.
රටේ විනය ගොඩනැගීම පළමු කාර්යයි. විනයක් නැති රටක් කිසිදා ඉදිරියට ගමන් කරන්නේ නැහැ. පාසල් දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද විනයක් තිබිය යුතුයි. සමාජයේ ඉහළ ගෞරවයට ලක්ව සිටි ගුරුවරයා උද්ඝෝෂණ කිරීමට පටන් ගත් නිසා ගුරු වෘත්තියේ විනය ද විනාශ වී ගියා. පසුගිය සිදුවීම් සමඟ සමාජය තුළ පිරිහී ගිය විනය නැවත ඇති කිරීමට කටයුතු ඔබතුමාට ප්‍රශංසා කළ යුතුයි.
ඒ වගේම අපි දැන් බෙදී වෙන් වී සිටී කාලය අවසන් කළ යුතුයි. දැන් උදා වී තිබෙන්නේ සියලුදෙනා එකට එක් වී වැඩ කළයුතු කාලයයි.
“ලොව අනෙකුත් රටවල් ජයග්‍රහණ සමග දිනෙන් දින ඉදිරියට යද්දී අපේ රට පසුපසට ගමන් කළේ එකට වැඩ නොකළ නිසා. එබැවින් එම ඓතිහාසික වරද නිවැරදි කර ගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.
ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ මෙසේ පැවසීය.
අපේ ජනාධිපතිපතිතුමා වාසනාවන්ත පුණ්‍යවන්ත කෙනෙක්. පාර්ලිමේන්තුවේ ඉන්න අවුරුදු 30ක් 40ක් අත්දැකීම් සහිත දේශපාලනඥයෙක් හැටියටයි මා එතුමා දකින්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හරි ශ්‍රේෂ්ඨයි. ඒතුමගේ චරිතය හරි නිහඩයි. ගොඩක් කතා කරන්නේ නැහැ. ගොරවන අහස වගේ නෙවෙයි. ඒ නිසා කියනදේ හරියට සාවධාවන අහගෙන ඉදලා හරියට කෙටියෙන් උත්තර දෙනවා. ඒ උත්තර දුන්නට පස්සේ උත්තර අහපු අය නිරුතතර වෙනවා. ඒහෙම හැකියාවක් ජනාධිපතිවරයාට තිබෙනවා. අපේ රට මෑතකාලීනව කඩාවැටීම නිසා ඔබතුමාට සිද්ද වුණා මේ රට ගොඩගන්න උරදෙන්න. ඒ නිසා තමයි ජනාධිපති තනතුර එතුමා භාරගත්තේ. කීදෙනකුට මේ තනතුර භාරගන්න එන්න කිව්වාද? නමුත් මෙතුමා රට ගැන හිතලා පළමුව අගමැති පදවිය භාර ගත්තා. ආර්ථික අගාධයෙන් අපේ රට බේර ගන්න පුළුවන් කියා මා විශ්වාස කරනවා. ඔබතුමා ජනාධිපති ධූරයට පත්වීම ජනතාවගේ වාසනාවක් හා භාග්‍යක් ලෙස මම සලකනවා.
රට ගොඩනැගිය හැකි දර්ශනයක් හා වැඩපිළිවෙළක් සහිත ජනාධිපතිවරයාට රට ඉදිරියේ ඇති ආර්ථික අභියෝගය ජය ගැනීමට නියත වශයෙන්ම ශක්තිය තිබෙනවා.
රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීමයි. අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් අමනාප කරගත් අතීත වරද නිවැරදි කර ගනිමින් ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් අප ගොඩනගා ගන්න ඕන. ඒ වගේම රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමේ දී අඩුවෙන් කතා කර, වැඩියෙන් වැඩකරන නිලධාරීන් කණ්ඩායමක් සමීප කර ගැනීමත් ඉතා වැදගත් වෙනවා.
ජනාධිපතිවරයාට දීර්ඝ කාලයක් කතා කළ ලිච්ඡවී රජ දරුවන්ගේ සප්ත අපරිහාණි ධර්ම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව දැන් එළැඹ තිබෙනවා. ඒ නිසා සියලුදෙනා ජනාධිපතතුමා වටේ රැස්වෙන්න. සියලුදෙනා එකතු පාදා වෙලා රට ගොඩනැගීමට කටයුතු කරන්න කියා මා ආශිර්වාද කරනවා.
මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිකාරී අතිපූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක නායක හිමිපාණන් වහන්සේ මෙසේ කීය.
රට හමුවේ තිබූ අභියෝග නොබියව භාර ගනිමින් අද රට නිවැරදි මාවතකට ගෙන යමින් සිටින ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සියලු පාර්ශ්වයන් හදවතින්ම ඒකරාශී විය යුතුයි.
එහිදී කිසිවිටෙකත් පක්ෂ පාට, ජාති, ආගම් බේද සැලකිල්ලට ගත යුතු නැහැ. හෘද සාක්ෂියට එකඟවම එය සියලුදෙනාට පැවරී ඇති ජාතික වගකීමක්.
උතුරු මැද ජනතාව ජාතික ආර්ථිකයට විශාල දායක්තවයක් සැපයුවත්, ජාතික සම්පත්වල ප්රතිලාභ එම ජනතාවට හිමි නොවීම ඛේදවාචකයකි. හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා වැනි බෝ නොවන රෝගවලින් එම ජනතාවගෙන් බොහෝ පිරිසක් පීඩා විඳිනවා. ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් නිමා කරන ලෙස මම ඉල්ලා සිටිනවා.
ජේතවනාරාම විහාරාධිපති අතිපූජ්‍ය ඉහළ මිල්ලෑවේ රතනපාල නාහිමියෝ මෙසේ කීය.
රට දියුණු කෙරෙන සාමූහික වැඩපිළිවෙළක් පිළිබද සියළු ජනතාව අපේක්ෂා සහාගතව බලාසිටිනවා. එම වගකීම ඉටු කිරීමට නොපමාව නායකත්වය ගෙන කටයුතු කරන්න. එකමුතුව වැඩකරන ජනතා ප්‍රශ්න විසඳීමේ ජනාධිපතිවරයාගේ උත්සාහය අගය කරනවා. ගොවි ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ට යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා.
ඉසුරුණිය රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය මතව සුමංගල නාමියෝ මෙසේ කීය.
දෙපසින්ම ඇවිලෙන පන්දමක් සේ රට පැවැති යුගයකයි ජනාධිපතිවරයා රට භාර ගනු ලැබුවේ. එම ගිනදැල් නිවා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය තිබෙනවා. ඒ සඳහා අප ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
