දිස්ත්‍රික්ක කිහිපයක පුළුල් ලෙස ගවපාලනයෙහි නිරතව සිටින පුද්ගලයින් ගවයින්ට ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහිත බිම් හිඟ වීම නිසා මහත් අසීරුතාවකට පත්ව සිටිති. ඊට විකල්පයක් ලෙස බොහෝ දෙනෙක් තම සතුන් අභයභුමිවලට හා වනාන්තරවලට මුදා හැරීමට කටයුතු කර ඇත.
මේ නිසා යාල, විල්පත්තුව, ලුණුගම්වෙහෙර, උඩවළවේ, කැබිලිත්ත වැනි අභයභූමි හා වනාන්තරවලට මී ගවයින් හා එළගවයින් මුදාහැර තිබේ.
මෙම සතුන් වනාන්තරවල ඇති පැළෑටි උළාකෑමට නිසා සෙසු වනසතුන්ට අවශ්‍ය ආහාර හිඟ වී තිබෙන අතර වන අලින් ගම්වැදීමට පවා මෙම තත්ත්වය බලපා ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (15) පස්වරුවේ වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය හා වනජීවි හා වනසංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරිහු සහභාගි වූහ.
අභයභූමි හා වනාන්තර ආශ්‍රිතව සිදුවන මානව ක්‍රියාකාරකම් නිසා අප රටේ අභයභූමි හා වනාන්තර පද්ධතිය මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ විය.
හම්බන්තොට, මොනරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල ගව පාලනයෙහි නිරතව සිටින බොහෝ දෙනෙක් තණබිම් නොමැතිවීම නිසා තම ගව රංචු මෙම වනාන්තර හා අභයබූමිවලට මුදාහැර ඇති බව මෙහිදී හෙලිදරව් විය.
මෙම සතුන් බොහෝ දෙනෙකුට අයිතිකරුවන් නොමැත. ඔවුන් වනාන්තරය තුළ නිදැල්ලේ සිටින නිසා ඔවුන්ගෙන් කිරි ලබා ගැනීම ද සිදු නොකරයි. එමනිසා මෙම ගව රංචු අල්ලා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළවලට යොමු කිරීමේ වැඩ පිළිවෙළක් ඇරඹීමට මෙම සාකච්ඡාවේ දී තීරණය විය.
දැනට කිරිගවයින් හිඟකම නිසා දෛනිකව ජාතික පශු සම්පත් මණ්ඩලයට හා මිල්කෝ සමාගමට ලැබෙන කිරි ප්‍රමාණය අඩුවෙමින් පවතී. පාකිස්ථානය හා ඉන්දියාව වැනි රටවලින් කිරිගවයින් අලෙවි කිරීමද අත්හිටුවා තිබේ. එම නිසා ඉදිරියේ දී යම් ප්‍රමාණයකට කිරි ලබා ගැනීමට මෙම වැඩ පිළිවෙළ මගින් පිටිවහළක් වනු ඇතැයි ද සාකච්ඡා විය.
එමෙන්ම වනඅලින් ආහාර හිඟකම නිසා ගම්මානවලට කඩා වැදීම ද යම් තරමකට පාලනය කිරීමට ඉඩකඩ ලැබෙනු ඇතැයි ද අවධාරණය විය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දියාවෙන් කිරි ගවයින් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ගේ මහතා සමග අවස්ථා කිහිපයක දී සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා යම් තරමකට සාර්ථකව ඇති බවත් අවධාරණය කළේය.