රිලව් චීනයට අපනයනය නොකරන බවට වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට අද (26දා) ප්‍රතිඥාවක් දුන්නේය.
මෙරට රිලව් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමෙන් සත්ව හිංසාවක් වන බව පෙන්වා දෙමින් භීක්ෂුන් වහන්සේලා සහ පරිසර ක්‍රියාකාරීන් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමින් ඒ බව දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබාදීමටද එකඟතාවය පළ කළේය.
රිලව් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී මේ බව දැනුම්දුන්නේය.
ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි, ඔටාරා ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නතීපතිවරයා නම් කොටට තිබිණී.
මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට රජය සූදානම් වන බවට වාර්තා පළ වී ඇති බවත් එහි මුල් පියවර ලෙස රිලවුන් දස දහසක් අපනයනය කිරීමට නියමිත බවට තොරතුරු හෙළි වී ඇති බවත් පවසන පෙත්සම්කරුවෝ මෙය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත මෙන්ම සත්ව හිංසා වැළැක්වීමේ පනතේ විධි විධානයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් මින් පරිසරයේ ජෛව විවිධත්වයට අහිතකර බලපෑමක් එල්ල වන බවත් සඳහන් කොට ඇත.
රිලවුන් අපනයනය කෙරෙන අරමුණ පැහැදිලි නැති හෙයින් මෙම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණී.