නවීන තාක්ෂණයෙන් යුත් ෆිල්ටර් යොදා ගනිමින් පෙරා පිරිසුදු කරගන්නා ජලය බව අඟවමින් අනුරාධපුරයේ ළිං ජලයට රසකාරකයක් මුසු කරන ජාවාරමක් සිදු කරන බව වාර්තා වේ.
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පිටිසර ගම්මානවල වැසියන්ට වකුගඩු රෝගයෙන් පීඩා එල්ලවීමත් සමග එම රෝගයෙන් ආරක්ෂාවීම සඳහා පිරිසුදු කරන ලද ජලය පානය කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති අතර, ඒ සඳහා ෆිල්ටර් යොදා ගනිමින් පිරිසුදුකළ පානීය ජලය යෝග්‍ය බවට පරීක්ෂණවලින් තහවුරුකර තිබේ.
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පිහිටි නගර හා ගම්මාන බොහෝමයක නළ ජලය හා ළිං ජලය ෆිල්ටර් යොදා ගෙන අලෙවිකරන ස්ථාන බොහොමයක් තිබෙන අතර, බොහෝ ප්‍රදේශවල ගම්මානවලට මෙන්ම අනුරාධපුර නගරය පුරාදපිරිසුදු කරන ලද ජලය ලොරි රථ මගින් ප්‍රවාහනය කරමින් අලෙවි කෙරේ.
ඇතැම් කූට ව්‍යාපාරිකයන් ජලය වෙළෙඳාමක් හා කූට ව්‍යාපාරයක් බවට පත්කර ගනිමින් ළිං හා නළ ජලය කිසිදු අයුරකින් පිරිසුදු නොකර ජලයට ආහාර සඳහා යොදන රසකාරක කුඩක් මුසුකර අලෙවිකරන බව පැවසේ.
අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ක්ෂේත්රයට සම්බන්ධ, නම සඳහන් කිරීමට අකැමැති අයෙකු පවසා සිටියේ,
"අනුරාධපුරය හා අනුරාධපුර නගරයෙන් පිටත බොහෝ ස්ථානවල පිරිසුදු ජලය විකිණීමට තියෙනවා.හුඟදෙනෙක් පුරුදු වෙලා තියෙනවා රුපියල් තුනක්, හතරක් දීලා ජලය ලීටරයක් මිලදී ගන්න.නමුත් ඇතැම් ස්ථානවල පාරිභෝගිකයන්ට පේන්න ජල ෆිල්ටර් සවිකරලා තියෙනවා.නමුත් ජලය ෆිල්ටර් කරන්න යන වියදම වැඩි නිසා සමහරු ළිංවලින් ජලය පොම්පකරලා ඊට රසකාරකය මුසුකරනවා.
ඒ රසකාරකය මුසුකළ විට ජලය ඉතා පැහැදිලි හා බොන්න ආසවක් ඇතිකරවන රසයක් ගන්නවා.කිසිම කෙනෙකුට හොයන්න බෑ ඒ ජලය ෆිල්ටර් කරලද, නැද්ද කියලා.නමුත් එම ජලයේ කැඩ්මියන් බැර ලෝහ කිවුල කිසිම දෙයක් අයින්වෙලා නෑ.රසය හා පැහැය විතරක් තියෙනවා.
ඊට අමතරව වෙළෙඳ පොළේ තියෙන වේදනානාශක පෙති වර්ගයකුත් ඇතැම් කූට ව්‍යාපාරිකයන් ජලයට මුසුකරනවා.එතකොට ජලය ෆිල්ටර් ජලය ලෙස දිස්වෙනවා. කූට ජල වෙළෙන්දන් කිසිදු ආකාරයකින් පිරිසුදු නොකළ පානීය ජලය සියයට සියයක් සුපිරිසුදුයි කියලා බෝඩ් ගහගෙන විකුණනවා.ජලය ලීටර් දහසකට රසකාරක කුඩු ග්‍රෑම් 50ක් විතර දැම්මාම ඇති.වෙළෙන්දට ඒ වතුර ලීටර් 1000න් රුපියල් 3,000ක් විතර ලාබ තියෙනවා.
මේ වතුර පානය කළාම පිපාසය බොහෝ දුරට වැඩි වෙනවා.ශ්‍රී ලංකාවට ගෙන්වීම සීමාකරලා තියෙන මේ රසකාරකය බොහෝ දුරට චීන ආහාරවලට තමයි යොදන්නේ.මීට පෙර ඇතැම් ගොවියන් ග්ලයිෆොසේට් වෙනුවට ආදේශකයක් ලෙස මෙම රසකාරයක යොදා ගත්තා.බොහෝමයක් මේ රසකාරකය දාලා ජලය විකුණන්නේ නිවෙස්වලටම ජලය සපයන්නන්" යනුවෙනි.
ෆිල්ටර් ජලය කරළියට පැමිණීමත් සමග එහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම පසුගිය කාලය පුරා සෞඛ්‍ය අංශ මගින් සිදුකළද, මේවන විට එම පරීක්ෂාවන් මන්දගාමී මට්ටමක පැවැතීම හේතුවෙන් කූට වෙළෙන්දන් මෙම ජාවාරම යහමින් සිදුකරන බව අනාවරණය විය.
ඒප්පාවල තිසර සමල්
.