ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සංවිධානය කළ මහජන රැළිය එම පක්ෂයේ රැළියක් බවත් ඒ අනුව ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වෙලා සිදු කළ රැළියක් නොවන බවත් සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
එම රැළියට සහභාගී නොවීම සම්බන්ධයෙන් අද (10දා) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව අදාළ රැළියෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙන බවත් එම වැඩපිළිවෙල සඳහා සුබ පතන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර - අපි එක පැත්තකින් කණගාටු වෙනවා. අපි ඊයේ අනුරාධපුරයේ රැස්වීමෙදී ඔබතුමාගේ කතාවක් බලාපොරොත්තුවෙන් සිටියා. අපි දන්නේ නෑ ඔබතුමාව ඒකෙන් ඉවත් කරලාද කියලා. ඉතින් මේ අනුරාධපුරයේ සිදුවීම ගැන අදහසක් දෙන්න.
සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක - ඊයේ රැස්වීම ගැන මතක් කරන්න ඕනී. ඔබතුමන්ලා බලන් හිටියට ඊයේ රැස්වීම තිබුණේ පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි. ඒ ඇරෙන්න ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වෙලා කරපු රැස්වීමක් නෙවෙයි. ඒ නිසා රැස්වීම දිහා බලපු ඔබතුමන්ලා හැමෝටම තේරෙන්න ඇති.
පොදුජන පෙරමුණටත් දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. එතුමන්ලා තමන්ගේ පක්ෂයේ දේශපාලක කටයුතු ඊයේ ආරම්භ කරලා තිබෙනවා. අපි එතුමන්ලාට සුබ ප්‍රාර්ථනා කරනවා ඒ කාරණය සම්බන්ධව.