වර්තමානයේ තමන් ආණ්ඩුව සමග කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමන් ඇතුලු කණ්ඩායම ස්වාධීන වීමට තීරණය කරන්නේ නම් එය ආණ්ඩුවට දැනුම් දී ආණ්ඩුව සමග කටයුතු කිරීම මිස කිසි ලෙසකින් විපක්ෂයට එකතු වීමට කටයුතු නොකරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (23දා) පැවති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,
මම ආණ්ඩුවේ. එතුමන්ලා(විමල් වීරවංශ, උදය ගම්මන්පිල) ඉවත් කරලා තිබෙන්නේ ඇමති ධුර වලින් විතරයි. අපි සියලු දෙනාම ආණ්ඩුවේ තවම. මම කියන්නේ මගේ තීන්දුව. මම ආණ්ඩුවේ. අපි ආණ්ඩුව ඇතුලේ ස්වාධීන කණ්ඩායමක් වෙන්න අපිට අවශ්‍ය නම් අපි ආණ්ඩුවට කියනවා. ඒත් මේ විපක්ෂයට නම් අපි ගෑවෙන්නවත් එන්නේ නෑ. ඔය කුණු විපක්ෂයට. මේ විපක්ෂයේ අතීතය බැලුවාම ඒ අතීතය හොඳටම ඇති තමුන්නාන්සේලාගේ විපක්ෂයට මේ රටේ කවදාකවත්, කිසි කලකවත් මහජන සම්මුතියක් නොලැබෙන්න. ඒ අතීතය හොඳටම ඇති. අපිට අවශ්‍ය නෑ අලුත් දේවල්, යනුවෙන් සඳහන් කළේය.